විප්ලවීය සෙන්පතියාගේ දිවියෙන් බිඳක්


01. 1954 ජූලි 28 - වැනිදා සබනෙටාහිදී උපත ලැබීය. 02. 1992 - ජනාධිපති කාර්ලෝස් අන්ද්‍රෙස් පෙරෙස්ට එරෙහිව කුමන්ත‍්‍රණ කිරිම නිසා සිරගත කෙරුණි. 03. 1994 - ජනාධිපති රෆායෙල් කල්දේරා ඔහුව නිදහස් කරනු ලැබීය. 04. 1998 - ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේය. 05. 2000 - නැවතත් ජනපතිවරයා විය. 06. 2002 - හමුදා කුමන්ත‍්‍රණයකින් ගැලවුණි. 07. 2006 - නැවතත් ජනාධිපතිවරයා ලෙස පත්විය. 08. 2011 ජූනි - වැළඳී තිබූ පිළිකාව සඳහා පළමුවරට කියුබාවේදී ප‍්‍රතිකාර සිදු කෙරුණි. 09. 2012 ජූලි - පිළිකාව සුව වූ බව ප‍්‍රකාශ කළේය. 10. 2012 ඔක්තෝබර් නැවතත් ජනපති විය (නව වාරය ඇරඹීම 2013 ජනවාරි) 11. 2012 දෙසැම්බර් - හතරවැනි සැත්කම සිදු කළ බව ප‍්‍රකාශ කළේය. 12. මීළඟ ජනපතිවරයා උප ජනපති නිකලොස් මදුරෝ බවට නම් කළේය. 13. 2013 ජනවාරි - තම නායකයා නොමැතිව චාවේස්ගේ රජය ඉදිරි කටයුතු පවත්වාගෙන ගියේය. 14. 2013 මාර්තු 01 - චාවේස් අසාධ්‍ය තත්වයෙන් පසුවන බව උප ජනාධිපති මදුරෝ ප‍්‍රකාශ කළේය.

 චාවෙස්ගේ උපත වෙනිසියුලාවේ දුප්පත් පවුලක දරුවෙකු ලෙස 1954දී ඌගෝ චාවේස් උපත ලැබීය. පියා හා මව ගුරුවරුන් වූ අතර පාසල් කාලය නිමවීමෙන් අනතුරුව ඔහු හමුදා සේවයට එක්විය. එම කාලය තුළදී තම දේශපාලන මතය ද වඩාත් ශක්තිමත් කරගත් ඔහු එරට දුප්පත් ජනතාව එක්රැස් කරගනිමින් 1992දී පැවැති රජය පෙරළීමට මූලිකත්වය ගත්තේය. එහෙත් එය අසාර්ථක වූ තැන ඔහුට වසර කීපයක් සිරබත් කන්නට සිදුවිය. යළිත් ඔහු වෙනිසියුලානු දේශපාලනයට පිවිසෙන්නේ 1998 පැවැති ජනාධිපතිවරණයත් සමගිනි. බලයට පැමිණීම. ඒ අනුව වෙනිසියුනු වැසියන්ගේ ඡන්දයෙන් විශේෂයෙන් බහුතරයක් වූ දුප්පතුන්ගේ ඡන්දයෙන් 1998 වසරේදී චාවේස් ජනාධිපතිවරයා බවට පත් විය. එහිදී ඔහු ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය 56%කි. තමන් තෝරා පත් කළ ජනතාව වෙත තම කෘතගුණ සැලකීම ඔහු නොපිරිහෙලා ඉටු කළේය. කුඩා කල සිටම දුප්පත්කමේ තතු දන්නා චාවෙස් සෑම විටම සමාජවාදය අගය කළ පුද්ගලයෙකු විය. බලයට පත් වීමෙන් අනතුරුව තමන්ගේ පැවැති එම අදහස් වඩාත් ඉහළින් ක‍්‍රියාත්මක කිරීමට ඔහු කටයුතු යෙදීය. ඒ හරහා ඔහු පෙරට වඩා ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. රටෙහි සම්පත් පිටරැටියන්ගෙන් ගලවා ගැනීම. 2000දී 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් නැවතත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඔහු තම රටෙහි සම්පත් පිටරැටියන්ට භුක්ති විඳීමට ඉඩ නොදී ඒවායේ ලාභය තම රටෙහි දුප්පත් ජනතාව වෙත බෙදා දීමට කටයුතු කළේය. ඒ සඳහා ඔහු මුලින්ම කළේ එරට පැවැති තෙල් සම්පත බටහිර ජාතීන්ගෙන් ගලවා ගෙන එහි ඒකාධිකාරය රජය වෙතට ලබා ගැනීමයි.

ලොව විශාලතම තෙල් නිෂ්පාදනයක් හිමි රටවල් අතරින් මුල් තැනක් වෙනිසියුලාවටද හිමි වේ. ඒ අනුව එමගින් ලද ආදායමෙන් එරට දුප්පත් ජනතාව වෙත නොමිලේ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය මෙන්ම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කිරීමට ඔහුට හැකි විය. එසේම පසුගිය කාලය පුරාවටම අසල්වැසි කොලොම්බියාවේ සිට විවිධ හේතු නිසා වෙනිසියුලාව වෙත පැමිණෙන සරණාගතයින් මිලියන භාගයකට ආසන්න ප‍්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සැපයීමට ද ඌගෝ චාවෙස් මූලිකත්වය ගත්තේය. කෙසේ වෙතත් මෙවැනි කි‍්‍රයා සඳහා වෙනිසියුලාවේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුගේ මෙන්ම මැද පන්තියේ ජනතාවගේද විරෝධය එල්ල විය. සමාජවාදී සමාජයක් ඇති කිරීමට යාමෙන් තම ජීවන පැවැත්මට තර්ජනයක් එල්ල වන බව ඔවුහු චෝදනා එල්ල කළහ. චාවෙස්ගේ ඇමෙරිකානු විරෝධය. චාවෙස්ගේ මෙවැනි කි‍්‍රයා කලාපයන් සඳහා ඔහු තුළ පැවැති ඇමෙරිකානු විරෝධයන් මූලික හේතුවක් විය.

ඇමෙරකානු අධිරාජ්‍ය වාදයට ඔහු එදා සිටම විරුද්ධ විය. පැසල් කාලයේදී තම විරුවන් ලෙස සැලකූ විප්ලවීය නායකයන් ආදර්ශයට ගනිමින් ඔහු එළි පිටම තම විරෝධය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එල්ල කළේය. මේ හරහා සිදුවූයේ ඔහුට විරුද්ධව රට තුළ මෙන්ම ජාත්‍යන්තරවද බලවේගයන් නිර්මාණය වීමයි. එහෙත් වෙනිසියුලාවේ බහුතර දුප්පත් සාමාන්‍ය ජනතාව කවදත් ඔහුත් සමග එකට සිටියේය. 2002 වසරේදී සිය රජය පෙරැළීමට ව්‍යාපාරිකයන් සහ මැද පන්තියේ ජනතාව සිදුකළ කුමන්ත‍්‍රණය පරාජය කර නැවතත් ජනපති තනතුරට පත්වීමට ඔහුට උදව් දුන්නේද එම ජනතාවම ය. චාවෙස්ගේ රජය පෙරැළීමට නොහැකි වූ තැන ඒ සඳහා ඇමෙරිකානු සහාය ලබා ගැනීමට වෙනිසියුලානු මැද පන්තිය තීරණය කළේය. ඇමෙරිකානු විරෝධී සහ සමාජවාදී ලෝක නායක ඇසුර. සිය සමකාලීන ඇමෙරකානු විරෝධී මෙන්ම සමාජවාදී ලෝක නායකයන් වූ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ, බොලිවියානු නායක ඊවා මොරාලෙස් ආදී චරිත ඇසුරු කිරීමටද චාවේස් බොහෝසේ උනන්දුවක් දැක්වීය. මීට අමතරව ඉරානය සමග වඩා හොඳ සම්බන්ධකමක් පවත්වාගෙන යාමට ද ඔහු කටයුතු කළේය.

ලතින් ඇමෙරිකානු රටවල් හා එකමුතුව සිය අදහස හා මතය ලෝකයාට ගෙනයාමට ද ඔහු වැඩපිළිවෙලක් සකස් කළේය. එසේම කලාපයේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බොහෝ සංවර්ධන කටයුතු සඳහාද ඔහු මූලිකත්වය ගත්තේය. සෑම විටම වෙනිසියුලාවට විරුද්ධව සිදුවෙන කි‍්‍රයාවන් පාලනය කිරීමට සමත්වීම. මේ අතරතුරදීම වෙනිසියුලාවට විරුද්ධව සිදුවෙන කි‍්‍රයාවන් යමක් වේ නම් ඒවා පාලනය කිරීමටද චාවෙස් කටයුතු දියත් කළේය. අධිරාජ්‍යවාදී මත දරන කිසිදු විවේචකයෙකුට එරට තහනම් වූ බව රහසක් නොව්. එරට මාධ්‍ය රජය යටතට ගත් ඔහු සෑම විටම මාතෘභූමියේ අනන්‍යතාවය ඉහළ නැංවෙන ආකාරයෙන් එම මාධ්‍ය යොදා ගැනීමට උත්සාහ ගත්තේය. එසේම සිය රටෙහි යුද ශක්තියද හැකිතරම් දුරට ශකිත්මත් කරවීමට ඔහු කටයුතු යෙදුවේය. ඒ අනුව සිය හමුදා ගරිල්ලා සටන් සඳහා පුහුණු කරවීමට ඔහු උනන්දු විය.


ඇතැම් අවස්ථාවලදී හමුදා නිල ඇඳුමින් සැරසී තුවක්කුවක් අත දරා සිටින චාවේස්ගේ ඡායාරූපද වෙනිසියුලානු රජය ප‍්‍රසිද්ධියට පත් කළේය. චාවෙස්ගේ මරණය පිටුපස CIA වසර 14ක පමණ කාලයක් තිස්සේ වෙනිසියුලානු දුප්පත් ජනතාවගේ ආදරය, ගෞරවය දිනාගත් චාවේස් මේ වනවිට මිය ගොසින්ය. ඔහුගේ මරණයට හේතුවූ පිළිකාව සඳහා ඇමෙරිකානු රජයේ සහ CIA සංවිධානයේ සම්බන්ධයක් පවතින බවට මේ වනවිට වෙනිසියුලානු රජය පවසා තිබේ. මීට පෙර චාවෙස්ද ඒ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූවේ තවත් වසර 50කට පමණ පසුව එය අනාවරණය වනු ඇති බවයි. එසේම එරට බහුතර දුප්පත් ජනතාව වෙත වැඩි සේවයක් කරමින් චාවේස් ඉටු කළ මෙහෙය ඉදිරියටත් පවත්වාගෙන යාමට අලුතින් පත්වන නායකයන්ට හැකිවෙනු ඇතැයි එරට වැයියන්ගේ දැඩි විශ්වාසය වී තිබේ. චාවෙස්ගේ මරණයෙන් උද්ධාමයට පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදය නොයෙකුත් ප්‍රකාශ නිකුත් කිරීම ආරම්භ කර ඇත. ඌගෝ චාවෙස්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් මෙහි පළවේ.

No comments:

Post a Comment