චාවේස්‌ගෙන් පසු කරලියට පැමිණි නිකොලස්‌ මදුරෝ


චාවේස්‌ගෙන් පසු කරලියට පැමිණි නිකොලස්‌ මදුරෝනූතන ලෝකයේ විප්ලවවාදීන් අතර ඉහළම ස්‌ථානයක සිටි වෙනිසියුලානු ජනරජයේ මහා චරිතය හෙවත් හියුගෝ රෆායල් චාවේස්‌ ෆ්රියාස්‌ (Hugo Rafael Chavez Frias) පසුගියදා අවසන් ගමන් ගියේ රටට හිතැති ජනතාවගේ සුවහසක්‌ අඳෝනාවන් මධ්‍යයේය. 'හියුගෝ චාවේස්‌' යනුවෙන් සැවොම හඳුනන හේ වෙනිසියුලාවට කොන්ද කෙළින් තබා ගෙන ජීවත් වීමේ මාර්ගය කියා දුන්නේය. 1999 දී වෙනිසියුලාවේ ජනපති අසුනේ වාඩිවන චාවේස්‌ 2013 දී මියයන තුරුම එරට සදාදරණීය නායකයා විය. 'බොලිවියානුවාදය' සහ '21 වන ශතවර්ෂයට සමාජවාදය' (Bolivarianism and Socialism of the 21 st Century) තම දේශපාලන න්‍යාය පත්‍රය කොට ගෙන ජනහිතවාදී පාලනයක්‌ චාවේස්‌ වෙනිසියුලාවේ දියත් කළේය. එරටට නව ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදීම, වැදගත් නිෂ්පාදන ආයතන ජනතාකරණය, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට රාජ්‍ය මූල්‍ය සම්පාදනය ඉහළ දැමීම, දුගීකම එරටින් හීන කිරීමට මංපෙත් සෙවීම, චාවේස්‌ ගත් ප්‍රධාන ක්‍රියා මාර්ගයන්ය. වැඩ කරන, සාමාන්‍ය පවුලකින් ජනපති පුටුවට පත්වෙන හේ කියුබානු නායක ෆිදෙල් කැස්‌ත්‍රෝ ඉන් පසුව රාවුල් කැස්‌ත්‍රෝ, බොලිවියානු නායක ඉවෝ මොරාලස්‌, ඉක්‌වදොරයේ රැෆායල් කුරේයා, නිකරගුවාවේ ඩැනියෙල් ඔටේගා වැනි නායකයන් සමග එක්‌වී එක්‌සත්ව ලතින් ඇමරිකානු කලාපය වෙනස්‌ කළ "රෝස රුල්ල" (pink tide) ඇතිකිරීමේ ප්‍රබලයෙක්‌ද විය. කොන්ද කෙළින් තබා ගෙන අමරිකානු අධිරාජ්‍යවාදීන්ට මුහුණ දුන් චාවේස්‌ එක්‌වරක්‌ හිටපු අමෙරිකානු නායක ජෝර්- ඩබ්. බුෂ් (George w. Bush) බූරුවෙක්‌ ලෙසට සංසන්දනාත්මක ප්‍රකාශයක්‌ද කිරීමට පසුබට නොවුණේය. සියලු දේ කිරීමට ජවයක්‌ තිබූ මේ දිරිය මිනිසා පිළිකාවක්‌ නිසා පරාජයට පත්වී 2013 මාර්තු 03 වැනිදා අවසන් හුස්‌ම හෙළුවේය. එම සුසුම් පොද තම මවුබිමට මුදාහරින විට ඔහුට වයස අවුරුදු 58 ක්‌ විය. මේ අකල් මරණයකි. මරණය පිළිබඳවද ඔවුන් චෝදනා එල්ල කළේ අමෙරිකාව හා අමෙරිකානු හිතවාදී ඊශ්‍රායලය දෙසටයි. කෙසේ වෙතත් දැන් ඇත්තේ චාවේස්‌ නොමැති වෙනිසියුලාවයි. මළ කුණක්‌ ඩැහැගන්නට බලා සිටින ගිජුලිහිණියන් මෙන් චාවේස්‌ගේ සතුරන් මෙහි රාජ්‍ය බලය ඩැහැගන්නට දැන් මාන බලමින් සිටී. මක්‌ නිසාද ලෝකයේ විශාලතම තෙල් සම්පතක්‌ ඇති රටක්‌ ලෙසට වෙනිසියුලාවද සිටින්නේ ඉදිරියෙනි. ගණන් බලා ඇති ආකාරයට මෙහි තෙල් සංචිත ප්‍රමාණය බැරල් ටි්‍රලියන 1.36 කි. ඉහත තත්ත්වය ගැන කෙටි සමාලෝචනයක්‌ ගෙන ආවේ වෙනිසියුලාවේ නායකත්වය කෙතරම් අභියෝගාත්මකද යන්න පැහැදිලි කිරීමටයි. චාවේස්‌ගේ මරණයෙන් හඬා වැටෙන ජනතාව මෙන්ම ප්‍රීති වුණ ජනතාවක්‌ද සිටිති. අමෙරිකානු හිතවාදී කල්ලි සිටින්නේ ඉහත දෙවැනි කොටසේයි. කෙසේ වෙතත් දැන් තවත් නමක්‌ කරළියට පැමිණ ඇත. ඒ වෙනිසියුලාවේ හිටපු උප ජනාධිපතිවරයායි. වර්තමානයේ ඔහු මෙරට වැඩබලන ජනාධිපති ලෙසට කාර්ය අරඹා ඇත. නිකොලස්‌ මදුරෝ මොරොස්‌ (Nicolas Maduro Moros) නම් මොහු 1962 නොවැම්බර් 23 වැනිදා තමයි උපත ලැබුවේ. ඒ වෙනිසියුලාවේ, කරාකස්‌ (Caraas) හිදී. පවුල් පසුබිම ගැන විමසීමේදී වාමාංශික දේශපාලන පවුලක්‌ වන අතර මදුරෝගේ පියා වෘත්තීය සමිති නායකයෙක්‌ද වනවා. දේශපාලනයට තරුණ අවධියේ සිටම මදුරෝ කැමැත්තක්‌ දැක්‌වූවා. උසස්‌ විද්‍යාලයේදී ශිෂ්‍ය සංගමයේ ප්‍රබල සාමාජිකයෙක්‌ ලෙසටද ඔහු කටයුතු කළා. සාමාන්‍ය රෝමානු කතෝලික ධර්මය ඔහුගේ උපතින් ලද ආගම වුවද සත්‍ය සායි බබා (Sathya Sai baba) ගේ අනුගාමිකයෙක්‌ ලෙසටද මදුරෝ ක්‍රියා කරනවා. දේශපාලනයට අවතීර්ණ වීමට ප්‍රථම ඔහු බස්‌ රථ රියදුරෙක්‌ ලෙසටයි සේවය කළේ. පසුකාලීනව ඔහු ආරක්‌ෂක බලධාරියෙක්‌ (Bodyguard) ලෙසටද කටයුතු කළා. 1998-1999 කාලයේදී තමයි ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ. 2000 වර්ෂයේ සිට 2005 දක්‌වා එරට ව්‍යවස්‌ථාදායක සභාවේ කථානායක ලෙසට මදුරෝ කටයුතු කරනවා. ඔහුගේ දේශපාලනයේ වැදගත් පිටුවක්‌ 2006 අගෝස්‌තු 09 වෙනිදා පෙරළෙනවා. ඒ ඔහු විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් උසස්‌ වීමයි. ඔහු විදෙස්‌ කටයුතු ඇමති ලෙස ක්‍රියා කරන සමයේ හිටපු ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි (Muammer Gaddafi) සමග සහයෝගයෙන් කටයුතු කළා. එසේම කොලොම්බියානු රජය සමගද ඔහු සම්බන්ධතා පැවැත්වූවා. 2012 ඔක්‌තෝම්බර් 10 වැනිදා එනම් 2012 ජනපතිවරණය නිමවී දින 03 කින් ජනපති චාවේස්‌, මදුරෝ එරට උප ජනපති ලෙසට නම් කරනවා. 2012 දෙසැම්බර් 08 වැනිදා ජාතිය අමතමින් ජනපති හියුගෝ චාවේස්‌ විශේෂ ප්‍රකාශයක්‌ කළා. ඒ තමන් පිළිකා රෝගයෙන් පීඩා විඳින බවටත්, සැත්කමක්‌ වෙනුවෙන් කියුබාව බලා පිටවෙන බවත්ය. එසේම තමන්ගේ තත්ත්වය නරක අතට හැරුණොත් වෙනිසියුලානු ජනතාව මදුරෝ හට සහයෝගය ලබාදී ඔහු ජනපති ලෙසට පත්කර ගත යුතු බවත් චාවේස්‌ මෙහිදී අවධාරණය කළා. 2013 මාර්තු 05 වැනිදා චාවේස්‌ගේ මිය යාමෙන් පසුව වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙසට මදුරෝ පත්වන්නේ අභියෝග රැසක්‌ මෙන්ම ජීවිතය මෙන් සුරක්‌ෂිත තම රටෙහි ඉදිරි අනාගතය සුරක්‌ෂිත කිරීමේ කාර්යයටද උර දෙමින්. වෙනිසියුලානු ව්‍යවස්‌ථාවට අනුව ජනපතිගේ මිය යැමෙන් දින 30 ක්‌ ඇතුළත ජනාධිපතිවරණයක්‌ පැවැත්විය යුතුයි. ඉදිරියේදී චාවේස්‌ගේ මග ගනිමින් ජනපතිවරණයට ඉදිරිපත්වීමටද මදුරෝ අපේක්‌ෂාවෙන් සිටී. චාවේස්‌ගේ මරණයෙන් පසුව ඔහු සඳහන් කළේ තමන්ගේ ඉතිහාසයේ සිට දීන සතුරන් ජනපතිවරයා මරා දැමීමට වගකිවයුතු බවටයි. එසේම එරට විපක්‌ෂය රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක නියෑළෙන බවටද මදුරෝ කෙළින්ම චෝදනා කළා. මදුරෝගේ දේශපාලන ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්‌ෂණයක්‌ වන්නේ තම පින්තූර නොව චාවේස්‌ගේ පින්තූර මැතිවරණ සටනට යොදා ගැනීමයි. එනම් තම සදාදරණීය නායකයාගේ මග ඉදිරියට ගෙන යැමට ඔහු පත්කර ගන්නා ලෙසටයි මදුරෝ ඉල්ලා සිටින්නේ.

No comments:

Post a Comment