චේ ගවේරා මරා දැමු මාරියෝ ගේ පාපොච්චාරණය !


චේ ගවේරා නම් අග්‍රගන්‍ය විප්ලවවාදියා මරා දැමු මාරියෝ ටෙරාන් ගේ පාපොච්චාරණය ! මගේ ජීවිතය කිසිදු එළියක්‌ නැති අඳුරු අගාධයක්‌ බව මට සිතේ. තරුණ වියේදී කළ සාහසික තුච්ච ක්‍රියාවක් නිසා මේ අඳුරු අගාධය තුළ මැරෙන තුරු හුදෙකලා වීමට මට සිදුවනවා ඇත. චේ මරණ ලද්දේ මගේ අත්වලිනි. එවිට මට වයස අවුරුදු විස්‌සකි. චේ ට වයස අවුරුදු හතළිහකි. අත්අංගුවට පත්වූ චේ ට වෙඩි තබන්නේ කවරෙක්‌ද යන ප්රශ්නය මතුවනවිට මම වහා ඉදිරියට පැන ඒ කටයුත්ත භාර ගතිමි. එයට හේතුවක්‌ තිබේ. චේ බොලිවියානු කඳුකරයේ සිට ගරිල්ලා සටන් කළේ අප සමඟය. මගේ කණ්‌ඩායමේ මාරියෝලා තවත් තිදෙනෙක්‌ වූහ. ඒ තුන් දෙනාම චේ ගේ ගරිල්ලා කණ්‌ඩායම වෙතින් මැරුම් කෑහ. එය ඉතා කෲර වූ සිද්ධියකි. ගරිල්ලා සටන්වලදී දෙපැත්තෙන්ම මිනිස්‌සු මැරෙති. සමහරවිට ඒ සියලු දෙනාම මාරියෝලා වුවත් අප පුදුම විය යුතු නැත. එහෙත් තරුණ මදය සහ මත්පැන් විසින් විකාරයක්‌ව තිබූ මගේ මනස මට බල කළේ මාරියෝලා මැරීමේ පලිය චේ වෙතින් ගත යුත්තේ මාරියෝ කෙනකු වන මා විසින්ම බව ය. මගේ ඇත්ත නම මාරියෝ ටෙරාන්. එහෙත් දැනටත් මා ජීවත් වන්නේ ෆෙද්රෝ සල්සාර් යන ව්යාජ නමිනි. මා කිසියම් තැනක සිටියදී කිසිවකු "මාරියෝ" යයි වෙනත් කෙනකු ඇමතූ කළ මගේ දෙපා පණ නැති වෙයි. චේ මැරූ පළිය ගැනීමට පැමිණි ගරිල්ලකු මා පිටුපස සිටින්නාක්‌ මෙන් මට දැනෙයි. බොලිවියාවේ ලොකුම නගරය වන සාන්ත කෲස්‌ ඩෙලා සියෙරා නගරයේ මගේ නිවස පිහිටා ඇත. එහෙත් එහි ලිපිනය රහසකි. චේ මැරීමෙන් පසු මා ගත කළ හමුදා ජීවිතයද ඉතා රහස්ය එකක්‌. මම එළියට නොආවෙමි. නිතරම ආවරණය වූ කාමරයක සිටියෙමි. නිතරම මත්පැන් පානය කළෙමි. මට දරුවෝ පස්‌ දෙනෙක්‌ සිටියා. චේ ට ද දරුවන් පස්‌ දෙනෙක්‌ සිටි බව මා අසා ඇත. නිතර මත් පැන් පානය කළ නිසා හෝ කිසියම් සාපයක්‌ නිසා හෝ මීට වසර දහයකට පෙර යුද හමුදාවෙන් විශ්රාම ගන්නා විට මගේ දෑස්‌ මහත්සේ දුර්වලව තිබිණ. ඒ අතර කියුබානු දොස්‌තරවරුන් පවත්වන අක්‌ෂි සායනයක්‌ ගැන මට ආරංචියක්‌ ලැබිණ. කියුබානුවන් තරම් හොඳ දොස්‌තරලා මේ මුළු මහත් ලතින් ඇමරිකාවේම නැත. චේ මැරීමෙන් පසු කියුබානුවන්ගේ නම ඇසූ විටත් මා තුළ කම්පනයක්‌ හටගනී. අක්‌ෂි සායනය ගැන මම මගේ පුතකු සමඟ සාකච්ඡා කළෙමි. අන්තිමේදී කියුබානුවන් පැවැත්වූ අක්‌ෂි සායනයකට ෆෙද්රෝ සල්සාර් යන නමින් මම සහභාගි වුණෙමි. චේ මැරූ මිනීමරුවා මා බව නොදත් කියුබානුවෝ මට සැත්කමක්‌ කර මගේ ඇස්‌ පාදා දුන්හ. දැන් මගේ ඇස්‌ දෙක ඉතා හොඳින් පෙනෙයි. චේ ගේ මූලිකත්වයෙන් ගොඩ නැංවූ නූතන කියුබාව විසින් චේ වැනිම ත්යාගශීලී දොස්‌තරවරුන් දස දහසකට වඩා බිහිකර ඇත. සැත්කම නිමවීමෙන් පසු මට එක්‌ දෙයක්‌ තේරුම් ගියේය. එනම් මා මාරියෝ ටෙරාන් බව දැන ගත්තාද කියුබන් දොස්‌තරවරුන් මා රෝගියකු ලෙස පමණක්‌ සළකා සැත්කම කරන බවය. මගේම හෘද සාක්‌ෂිය සමඟ නඩු කියන මට එයින් ගැලවීමක්‌ නැත. එහෙත් ඒ නඩුවෙන් කියුබානුවන්ට වැඩක්‌ නැත. මා සී, අයි. ඒ. උදව් ලැබූ බොලිවියානු හමුදාවේ කුලී හේවායකු වන නිසා චේ ගේ ආත්මයද එම නඩුවෙන් මා නිදහස්‌ කරනවා ඇත.

No comments:

Post a Comment