එක්සත් ලතින් ඇමරිකාවක් පිළිබඳව චේ සිහින දුටුවා - චේ ගුවේරාගේ දියණිය


එක්සත් ලතින් ඇමරිකාවක් පිළිබඳව චේ සිහින දුටුවා - චේ ගුවේරාගේ දියණිය චේ ඉලක්ක කරගත් සාවද්‍ය ප්‍රචාර තිබියෙදීත් ලතින් ඇමරිකානු නායකයා සැබෑ විප්ලවවාදියෙකු බවත් ලතින් ඇමරිකානුවන් ඔවුන්ගේ පොදු සතුරාට එරෙහිව එක්සත් කරවීමට වත්මන් සිදුවීම් ඔහුට මහත් උනන්දුවක් ජනිත කරවනු ඇති බවත් චේගේ දියණිය ඇලෙයිඩා ගුවේරා පවසයි. ඇය මෙම අදහස් පළ කරන්නේ, රුසියාවේ ආර්.ටී. වෙබ් අඩවිය සමග පැවති සංවාදයකදීය. සිංහල භාෂාවට පරිවර්තිත එම සංවාදය සම්පූර්ණයෙන් මෙසේය. ප්‍රශ්නය: ගුවේරා මහත්මියනි, ඔබ සාදරයෙන් පිළිගන්නා අතර අප සමග එක්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. ඔබ කිවුවා, ඔබ ෆිදෙල් කස්ත්‍රෝට ඉතා සමීපව සිටි බව. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මාධ්‍ය විසින් දක්වන තොරතුරු පිළිබඳව ඔබ හිතන්නේ මොකක්ද? සමහර වාර්තා කියනවා, ඔහු මියගොස් බව. තවත් ඒවා පවසනවා, ඔහු ජීවතුන් අතර බව. මේ ගැන මොකක්ද හිතන්නේ? අලෙයිඩා ගුවේරා: ෆිදෙල් මුළුමනින්ම අද්විතීය පුද්ගලයෙක්. ඔහු ලෙහෙසියෙන් දුර්මුඛ වෙන්නෙ නැහැ. ඔහු දුර්මුඛ වෙන්නනම් ඒක ඇත්තටම රිදෙන දෙයක් වෙන්න ඕනෑ. සාමාන්‍යයෙන් ඒක අනෙක් අය ඉලක්ක කරගත් දෙයක් දෙයක් වෙන්නත් ඕනෑ. ඒ නිසා තමයි, උදාහරණයක් විදිහට, දැන් ඔහු හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මාධ්‍ය වාර්තා ගැන කැළඹිලා ඉන්නේ. ඒත් ෆිදෙල් අනිත් අය තමන් ගැන කියන දේවල් කවදාවත් තැකුවෙ නැහැ. එවා ඇත්තටම රිදෙන ඒවා හරි මිනිස්සු ඉලක්ක කරගත් ඒවා හරි නොවුණානම් ඔහු අවධානයක් යොමු කළේ නැහැ. එහෙම එවා නම් ඔහු ඉක්මණටම ප්‍රතිචාර දක්වනවා. ප්‍රශ්නය: අලෙයිඩා, ඔබේ මව පුරාවෘත්තගත චේ ගුවේරා සමග වූ ඇගේ ආදරය පිළිබඳව වසර 40ක් නිහ`ඩව සිටියා. යම් විස්තර හෙළිදරව් කරන කෘතියක් ඇය ප්‍රකාශයට පත් කරන්නේ ඉතා මෑතදීයි. ඇයට ඇගේ කතාව මීට කලින් කියන්න අපහසු වුණේ ඇයි? ඇයි ඇය මෙතරම් කාලයක් බලාහිටියේ? අලෙයිඩා ගුවේරා: සියල්ලටම ප්‍රථම ඔබ මගේ මව ගැන දැනගන්න ඕනෑ. ඇය කියුබාවේ ගම්බද ප්‍රදේශයකින් පැවතෙන්නියක්. මම හිතන්නෙ ඇයත් අනෙක් අය වගේම තමන්ගේ ආදරවන්ත අත්දැකීම් හුඟක් සංවේදී කාරණා හැටියට සලකනවා. ඔවුන් මේ කාරණා පිළිබඳව කතා කරන්න කැමති නැහැ. ඇයත් හැදුණෙ එවැනි සංස්කෘතියක. හැමවෙලාවෙම ඇයත් හිටියෙ ඒ වගේමයි. කියන විදිහට ඇය ඔහු සමග පුදුමාකාර ආදරයකින් ඉඳලා. ඒක අදහන්න බැරි ලස්සන ආදර කතාවක්. මට මං ගැන මේ තරම් විශේෂයක් දැනෙන එක කාරණයක් වෙන්නෙත් ඒක. ඒ මම ශ්‍රේෂ්ඨ මිනිසෙකුගෙ දුවක් වෙන නිසා නෙමෙයි. ඒ, මම එකිනෙකාට ආදරයෙන් බැඳුණු යුවලකගෙ දියණියක් නිසා. මම එයාලාගෙ ආදරයේ නිෂ්පාදනයක් වන නිසා. මාව විශේෂයක් කරවන්නේ ඒක. මවගේ කෘතිය ඔවුන්ගේ සබඳතාවයේ කතාව කියනවා. ඒ ආදරයේ ඇසින් ඇගේ ජීවිතයේ කතාව කියනවා. නිකමට හිතන්න, පියාගේ මරණය මගේ මවට මොනවගේ දැනෙන්න ඇද්ද කියලා. ඔහු ඇගේ ජීවිතයේ පළමු පිරිමියා, ඔහු ඇගේ පෙම්වතා, ඇගේ අණ දෙන නිලධාරියා, ඇගේ මිතුරා, ඇගේ ගුරුවරයා, ඇගේ ආදරවන්තයා, ඇගේ දරුවන්ගේ පියා. හැම දේම වුණේ ඔහු. ඒ සියල්ලටම පස්සෙ ඔහු මිය ගිහින්. හිතාගන්න, ඇයට දැනෙන්න ඇති දුක. ඇයට කුඩා දරුවො හතර දෙනෙක් හදාවඩා ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ සියලූම මතකයන් හිතේ ගැඹුරුම තැන්වල හිරකරගෙන ජීවිතේ පොරබදන්න ඇයට බලකෙරෙන්න ඇති. ඈ ඒවා විවෘත කළානම් ඈට දරාගන්න බැරිවෙන්න තිබුණා. ඒ මතකයන් වෙතට ආපහු යන්න තරම් තමන් ශක්තිමත් කියලා ඇයට දැනෙන්න ලොකු කාලයක් ගතවුණා. ඈ පොත ලියන්න පටන් ගත්තට පස්සෙ මම නිතර ඇගේ ඇස්වල කඳුළු දැක්කා. ඈ කොච්චර ඇ`ඩුවද කිවුවොත් මම සැරයක් ඇයට කිවුවා, ඇයි අම්මෙ ඔයා ඔය පොත ලියන එක නවත්තන්නෙ නැත්තෙ˜ කියලා. හොඳ වෙලාවට එයා මම කියන දේ ඇහුවෙ නැහැ පොත ලියලා ඉවර කළා. ඒ පොත මට අදහන්න බැරි තෑග්ගක්. ප්‍රශ්නය: ඒක රසවත් කතාවක්. පහුගිය අවුරුදු දහයෙදි, අර්නස්ටෝ චේ ගුවෙරා ගැන චිත්‍රපට හුඟක් තිබුණා. ජීවිතකතා බොහොමයක් ලියැවුණා. ඔබ බලපු සහ කියවපු වඩාත්ම විශ්වසනීය තොරතුරු තියෙන්නෙ කුමන කෘතිද? අලෙයිඩා ගුවේරා: මේ වෙනකම් මට නිර්දේශ කරන්න පුළුවන් එක ජිවිත කතාවක්වත් නැහැ. මම තරුණ තරුණියන් එක්ක කතා කරනකොට එයාලාට නිතර කියන්නෙ, මගේ පියාම තමන් ගැන ලියපුවා කියවන්න කියලයි. එයාට අවුරුදු 17 ඉඳලම තමන් අවට සිදුවන හැමදේම ලියලා තියාගන්න පුරුද්දක් තිබුණා. ඒ නිසාම ඔහුගෙ දිනපොත් ගණනාවක් අපට දායාද වුණා. ඔබට පළමු නිරීක්ෂකයගෙම අදහස් කියවන්න පුළුවන්. තමන්ගෙම නිගමනවලට එන්න පුළුවන්. මට ඔබට පෙන්වා දෙන්න පුළුවන් එකම චිත්‍රපටිය The Motorcycle Diaries මම හිතන හැටියට ඒක තමයි ගත යුත්තක් තියෙන එකම චිත්‍රපටය. ඒක මුළුමනින්ම ලතින් ඇමරිකානුවො හදපු එකක්. ඒක හුඟක් හොඳයි. මම ඒක ඉහළින්ම අනුමත කරනවා. ප්‍රශ්නය: චේ ගුවේරා පිළිබඳ බොහෝ විධ අදහස් පළ වී තිඛෙනවා. සමහරුන් කියනවා, ඔහු වීරයෙක් ඒ වගේම තම අරමුණ වෙනුවෙන් දිවිපිදීමට සූදානම් අයෙක් බව. අනිත් අයට ඔහු ත්‍රස්තවාදියෙක්, මිනීමරුවෙක්. ඔහුට තමන්ගේ අදහස් වෙනුවෙන් මිනිසුන් මරා දැමීමට සිදුවූ ජීවිත කාල පරිච්ඡේදය ගැන ඔබ මොකද හිතෙන්නෙ? අලෙයිඩා ගුවේරා: අපි කතා කරමින් සිටින්නේ යුද්ධය ගැන. ඔබ ගරිල්ලා යුද්ධයකට සම්බන්ධ වී සිටින විට, ඔබ එක්කෝ ජීවත් වෙනවා, නැත්නම් මිය යනවා. ගරිල්ලා යුද්ධයේ නීතිය එයයි. ඒත් ඒක මිනී මැරීමක් නෙමෙයි. ඔබ මිනිසුන් මරා දමන්නේ නැහැ. මිනීමැරීම කියන්නේ අනාරක්ෂිත පුද්ගලයෙකුට පහරදීමක්. නමුත් ඔබ සටනක නිරතවී සිටින විට මෙවැනි තත්වයක් නැහැ. සටනකදී ඔබ ඔවුනට වෙඩි තබන්නේ ඔවුන් ඔබට වෙඩි තබන නිසයි. ඔබ ඔවුන්ව මරා දමන්නේ එසේ නැතහොත් ඔවුන් ඔබව මරා දමන නිසයි. යුද්ධය කියන්නේ මෙයයි. පරස්පර ලෙස සැබැවින්ම ඝාතනය කරනු ලැබුවේ චේයි. ඔහුව අත්අඩංගුවට ගනු ලැබුණා. ඔහු සිටියේ නිරායුදව සහ අනාරක්ෂිතව. ඔවුන් ඔහුව මරා දැම්මේ නඩු විභාගයකින් තොරවයි. සැබෑම මිනීමැරීම වන්නේ එයයි. ඒත් මගේ පියා කිසිදා එවැනි දෙයක් කළේ නැහැ. ඔවුන් කිසිදා ඔවුන්ගේ සිරකරුවන් මරා දැමුවේ නැහැ. ඔවුන්ව රැකබලා ගත්තා. වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. ආරක්ෂිත ස්ථානයකට ගෙන යන තුරු සිරකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් තමන්ගේ ඉදිරියට යාම සෙමින් සිදුකරන්නට පවා කටයුතු කළා. ඉතින්, ඔහුට චෝදනා කරන අය හුදෙක්ම සමස්ත කතාන්දරය නොදැනයි එසේ කරන්නේ. මේ මිනිසුන් කෙතරම් ශ්‍රේෂ්ඨදැයි වැටහීමක් ඔවුන්ට නැහැ. මම අදහස් කළේ, චේ පමණක් නෙමෙයි, ඔහු සමග එකව සටන් වැදුණු හැම දෙනාම, සියලූම මිනිසුන්. මේ යුද්ධය ඔවුන්ව එලෙස හැඩගැස්වූවා. කියුබානු විප්ලවය කිසිදා ඝාතනවලට සම්බන්ධ වුණේ නැහැ. අපි ආත්මාරක්ෂාව සලසා ගත්තා පමණයි. එසේම අපි එය නොකඩවා කරගෙන යන්නක්. ප්‍රශ්නය: මේ කරුණ ෆිදෙල්ට බලපෑ ආකාරය ගැන බොහෝ අනුමානයන් තිඛෙනවා. මියගිය චේ, ජීවත්වුණු චේට වඩා ෆිදෙල්ට ප්‍රයෝජනවත් වූයේ යැයි කීමට තරම් සමහරුන් දුර යනවා. අලෙයිඩා ගුවේරා: මේ ඔබට කිව හැකි මෝඩම ප්‍රකාශයයි. චේ ජීවතුන් අතර සිටියෙදී කියුබාවේ ෆිදෙල්ට දැවැන්ත සහයක් වූවා. ෆිදෙල් මේ බව බොහෝ වාර ගණනක් කියා තිඛෙනවා. ඔහු කිවුවා, තමන් මනස නිදහස්ව වෙනත් රාජකාරිවල යෙදුණේ චේ කර්මාන්ත ඇමති ලෙස සිටින බව දැන සිටි නිසා බව. ෆිදෙල් චේ මත පූර්ණ විශ්වාසය තැබූ නිසා කියුබානු ආර්ථීකය සුරක්ෂිතව පැවතියා. එහෙත් චේගේ හැරයාමෙන් තත්වය වෙනස් වුණා. ඒ වුණත් චේට දිගටම යන්න අවශ්‍ය වුණා. මුලදීම, ෆිදෙල් සහ චේ මෙක්සිකෝවේ සිටියෙදීම, ඔවුන් එකඟතාවයක් ඇති කර ගත්තා. කියුබාව නිදහස් කරගන්නකම් එහි රැෙඳන බවට චේ ෆිදෙල්ට පොරොන්දු වුණා. ඊට පස්සෙ, ඔහු නොමැරී හිටියොත් ලතින් ඇමරිකාවෙ අනෙක් රටවල්වලට යන බව කියා තිබුණා. ෆිදෙල් ඒකට එකඟ වෙලා තමන්ගෙ පොරොන්දුව රැක්කා. වරක් මම ෆිදෙල් හමුවුණු වෙලාවක අපි අතරෙ දිග කතාබහක් ඇති වුණා. අපි පැය ගාණක් කතා කළා. අන්තිමට මම ඔහුට කිවුවා, මට කියන්න ඔබ මගේ පියා සමග එකඟ නොවුණු දේවල්. මිනිසුන්ගේ කතාබහට ලක්වුණු මේ විවාදසම්පන්න දේවල් මට කියන්න. ඉතින් ඔහු මට ඔවුන් මෙක්සිකෝවෙදි වුණු එක් සිද්ධියක් කිවුවා. තමන්ව අත්අඩංගුවට ගනීවි කියලා හැමෝම දැනගෙන හිටපු නිසා ෆිදෙල් කියලා තමන්ගේ දේශපාලන අදහස් මොකුත් එළියට දාන්න එපා කියලා. ඊට පස්සෙ ඔහු මගෙන් අහනවා, ඔබේ පියා මොනවා කළා කියලද හිතන්නෙ? හිරේ ඉන්නැද්දි එයා ගාඩ්ලත් එක්ක දේශපාලනය කතා කරන්න පටන් අරන්. එයා ස්ටාලින් ගැන පවා එයාලාට කියලා. ප්‍රතිඵලයක් විදිහට චේ ඇරෙන්න අනික් හැමෝම එළියට දාලා. පොලීසිය කියලා එයා කොමියුනිස්ට්කාරයෙක් කියලා. ෆිදෙල් එයාට තේරුම් කරවන්න හුඟක් මහන්සි අරන්. ඒත් අන්තිමට තේරුම් අරන් පියාට බොරු කියන්න බැරි බව. ඔහු හුඟක් අවංකයි. එයාට බොරුවක් කියන්න බැහැ. ෆිදෙල්ට කියන්න දෙයක් තිබිලා නැහැ. ඒ වගේ පුද්ගලයෙක් එක්ක තර්ක කරන්නෙ කොහොමද? ෆිදෙල් කිවුවා. ඉතින් ඒක මිනිස්සු කියන ඔවුන් තර්ක කරගත්තු දේවලින් එකක්. එත් එතන විවාදයක් තිබිලත් නැහැ. මගේ පියාව නිදහස් කරනකම් ෆිදෙල් මෙක්සිකෝවෙම රැඳිලා. ඒ, ඒක කියුබාව ගැන තිබුණු සමස්ත සැලැස්මම අවදානමට ලක් කිරීමක් වුණත්. ඒ සිද්ධිය ෆිදෙලූත් මගේ පියාත් අතරේ විශිෂ්ට මිත්‍රත්වයක ආරම්භය. පියා තේරුම් අරන්, ෆිදෙල් තමන්ගෙ හැම සෙබළෙක්ගෙම වගකීම ගත්ත සැබෑ ජෙනරාල්වරයෙක් කියලා. මම ෆිදෙල් එක්ක කතාබහ කරපු ඒ හැන්දෑවෙම, මට සිනහ ගිය කාරණයක් තිබුණා. ඔහු ඇහුවා ඒ ඇයි කියලා. මම කිවුවා, අන්කල්,- ඔහුට මම කිවුවෙ ෆිදෙල් අන්කල් කියලා - මම හිනා වෙන්නෙ ඔයාට. එයා ඇහුවා ඇයි කියලා. මම කිවුවා, ඔයාට මේක දැනෙන්න නැතුව ඇති, ඔයා පියා ගැන කතා කළේ, වර්තමාන කාලෙන්. හරියට තාම ජීවතුන් අතර වගේ. ඔහු මා දිහා බැරෑරුම්ව බලලා මෙහෙම කිවුවා. ඔයා වැරදියි, ඔබේ පියා තවමත් අප අතර. ඒ රාත්‍රියේ අවසානය වුණේ ඒක. ප්‍රශ්නය: ඔබේ පියාගේ මුහුණ මුළු ලොවම හඳුනනවා. මිනිසුන් ඔහුගේ රුව සහිත වෙළඳ භාණ්ඩ මිලදී ගන්නවා. මෙය දකිද්දී ඔබට හැ‍ඟෙන්නේ මොකක්ද? අලෙයිඩා ගුවේරා: සමහර අවස්ථාවල මට කේන්ති යනවා. මොකද මිනිස්සු බොහෝ අවස්ථාවල ඔහුගේ ප්‍රතිරූපයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා නිසා. පියා කඩවසම් අයෙක් වූ නිසා ඔහුගේ මුහුණ විකෘති කිරීමට එරෙහිව වන්දි ඉල්ලන බව කියමින් ඇතැම්විට මම විහිළු පවා කරනවා. ඇත්තටම ඔහුගේ ඇතැම් පින්තූර අවලස්සනයි. අනෙක් අතට මම හැමවිටම කියනවා, ඒ පින්තූරවලින් කියවෙන දේ ඔබ දන්නෙ නැත්නම්, ඔහුගේ ජීවිතය සහ ඔහු කළ දේ අඳුරන්නෙ නැත්නම්, එවායින් කිසිම තේරුමක් නැති බව. ඇයි ඔබ චේ ඉන්න ටී ෂර්ට් එකක් ඇඳලා ඉන්නෙ? මම සමහර වෙලාවට කෙනෙක්ගෙන් අහනවා. එයාලා කියනවා, මට විභාගෙකට මුහුණ දෙන්න තියෙනවා. මට පාස් වෙන්න පුළුවන්ද කියලා විශ්වාස නැහැ. ඉතින් මම ටී ෂර්ට් එක ඇන්දා. චේ දිහා බලාගෙන මම මටම කියාගන්නවා, උත්සාහය අත්අරින්න එපා කියලා. මොකද එයා ඒක කළානම් මටත් පුළුවන් වෙන්න ඕනෑ. සමහර උත්තර හරිම අපූරුයි. ඒකෙන් කියවෙන්නෙ, ඔහු පිළිබඳව මොන තරම් බොරු ප්‍රචාර, විකාර දේවල් කියලා තිබුණත් මිනිස්සුන්ව රවට්ටන්න බැරිවෙලා තියෙන බව. ඔවුන් ඒ බොරු විශ්වාස කරන්නෙ නැහැ. ඒ විප්ලවවාදීන් මොන වගේ මිනිස්සුද කියලා එයාලා දන්නවා. ප්‍රශ්නය: ලතින් ඇමරිකාව හරහා කළ සංචාරය චේ ගුවේරාගේ මනෝභාවය වෙනස් කළා. ඔහුව විප්ලවාදියෙක් කළේ ඒක. ඔහු අද ඒ සංචාරය කළානම් ඔහු මොනවා දකීද? 1950 ගණන්වලදි දැනුන හැඟීම්ම දැනේවිද? අලෙයිඩා ගුවේරා: එහෙමමයි, සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලැබිය යුතු බවට චේට දනවපු කරුණු තවමත් ජීවමානයි. ඇතැම්විට එදාට වඩා තත්වය උග්‍රවෙලා. දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය පුළුල් වෙමින් තියෙනවා. ලතින් ඇමරිකාවෙ මිනිස්සු මේ කාරණේ හොඳින්ම දන්නවා. කොහොම වුණත් මෑත අවුරුදුවලදි අපි අලූත් ප්‍රවණතාවක් නිරීක්ෂණය කළා. ඒ, වැඩි නායකයො ගණනක් ජනතාවගෙ අවශ්‍යතා සුරක්ෂිත කරන එක. ලතින් ඇමරිකානු නායකයො ඒක තේරුම් ගන්න පටන් අරගෙන. අපි අපේ ශක්තීන් ඒකාබද්ධ කළොත් අපව නවත්වන්න කිසිවෙකුට නොහැකි වේවි. මගේ පියා ඇත්තටම සතුටු වේවි, ඉවො මොරාලේස් වගේ ස්වදේශික ඇමරිකානුවෙක් ජනාධිපති වුණු එක ගැන. මම හිතන්නෙ චේ එයාට උදව් කරන්නත් තමන්ට දෙන්න පුළුවන් සියලූ සහය දෙන්නත් තිබුණා. ඔහු වෙනිසියුලාවෙ බොලිවේරියානු විප්ලවය අනුමත කරන්නත් තිබුණා. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් තමන්ගෙ ජනතාව රටේ සමස්ත තෙල් සම්පතේ එකම අයිතිකරුවන් බවට පත් කළා. ඒක නූතන ඉතිහාසයේ අද්විතීය කරුණක්. මම හිතන්නෙ චේ ඒකට ආශීර්වාද කරන්න තිබුණා චාවේස්ට උදව් කරන්න තමන්ට කරන්න පුළුවන් හැමදේම කරන්න තිබුණා. මේ දිනවල බොහෝ දේවල් ඔහුව ටිකක් සතුටු කරාවි. ඒත් ඒ කරුණුම ඔහු තුළ වැඩි උනන්දුවක් ඇති කරාවි. මොකද ඒ ක්ෂේත්‍රවල තව බොහෝ දුර යා යුතුව ඇති නිසා. ප්‍රශ්නය: වත්මන් ලතින් ඇමරිකාවේ ඒකාබද්ධවීමේ ප්‍රයත්නයට චේ මොනවගේ ප්‍රතිචාර දක්වන්න තිබුණා කියලා ඔබට හිතෙනවද? ඔහු ඒකට සහය දෙයිද? අලෙයිඩා ගුවේරා: ඉතාම හොඳින්, එය දිගු කලක පටන් තිබුණු සිහිනයක්. චේගේ විතරක් නෙමෙයි. අපේ පොදු සතුරාට එරෙහිව ශක්තිමත්ව නැගීසිටීමේ අපේ එකම බලාපොරොත්තුව සියලූ ලතින් ඇමරිකානුවන් අතර එකමුතුකම බව චේ කියන්න තිබුණා. ලතින් ඇමරිකානුවන්ගේ දුෂ්ටම සතුරා එක්සත් ජනපදය බව ඔහු ඉතා පැහැදිලිව කියා තිබුණා. ප්‍රශ්නය: කියුබාවෙ තත්වෙ මොකක්ද? චේ අද එහි තත්වය සහ ජීවන මට්ටම දුටුවානම් ඒ ගැන ආඩම්බර වෙයිද? අලෙයිඩා ගුවේරා: විසඳිය යුතු ප්‍රශ්න රැසක් තවමත් ඇති බවත් බොහෝ දේ වර්ධනය කළ යුතු බවත් ඔහු තේරුම් ගනීවි. එහෙත් මගේ පියා කියුබානු ජනතාවගේ පාර්ශවයේ සෑමවිටම සිටීවි. වැරදි දැකීමේදී නිර්දය ලෙස විවේනය කිරීමේ ස්වභාවයක් ඔහු සතු වූ අතර මිනිසුන් හැමවිටම ඔහුට සවන්දීමට කැමැත්තෙන් සිටියා. ඉතින්, ඔහු අදත් අප අතර සිටියානම් හැම කෙනෙක්ම වගේ ඔහුත් වැඩකරාවි තත්වයන් වඩා යහපත් කරගැනීම වෙනුවෙන්. මට විශ්වාසයි, ඔහු ඔහුගේ විවේචනය නවත්වන එකක් නැහැ. ඒත් ඔහු ඒවාට විසඳුම් හොයන්නත් ඒ වගේම කැපවේවි. ඔහු ඉතා කාර්යබහුල වේවි.

No comments:

Post a Comment