Sunday 2 June 2013

කන කෑමට "බෝම්බ" සවිකර සත්තු මරන යමපල්ලෝ

කන කෑමට "බෝම්බ" සවිකර සත්තු මරන යමපල්ලෝ


නිහඬ රාත්‍රියේ රැහැයි හඬ පරයමින් එක්‌වරම නැගුණ වෙඩි හ`ඩක්‌ බ`දු මහ නදින් තුරු අතු පතර සිටි වවුලු සේනාවන් ඇතුළු සියොත් කැල අත්තටු ගසමින් කලබල කරන්නට වූහ. නිහ`ඩ රාත්‍රියේ කුසට අහරක්‌ සොයා ගිය හස්‌ති රාජයෙකු මහා හ`ඩින් විලාප තබන්නට විය. ඒ සමගම ගම් වැදී සිටි අනෙකුත් හස්‌තීහුද කලබල වන්නට වූහ.

වේදනාවෙන් කෑගසනා හස්‌ති රාජයාගේ මුවෙන් ලේ ගංගාවක්‌ වෑස්‌සෙමින් තිබුණි. ගිජුකමින් ගිල දමමින් තිබුණු කෑමත් සමග තිබුණු හක්‌කේ පටස්‌ මාරකයක්‌ පිපිරී යැම නිසා මෙම වන අලියා මෙලෙස වේදනාවකට ගොදුරු වන්නට වූයේය. පිපිරී ගිය හක්‌කේ පටස්‌ එකෙන් සතාගේ දිව කැඩී ගොස්‌ හක්‌ක පුපුරා තිබිණි. මුව කැබලිවලට පිපිරී ගොස්‌ ඇති විට මෙම වනසතා දැඩි වේදනාව දරා ගත නොහැකිව කෑ මොර දෙන නදින් මුළු වනාන්තරයම කම්පා වුණේය.



පසුදා උදේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහානාගපුර වෙහෙරගල ගම්මානය ආසන්නයේ වේදනාවෙන් කුපිතව කෑ මොර දෙමින් සිටිනා අලියෙකු එම ගම්මානවල ජනයාට දැක ගන්නට ලැබුණි. වෙනදා දකින වන අලින්ට වඩා මෙම වන අලියාගේ වෙනසක්‌ දුටු මෙම ගම්වාසීහු අලියාව හොඳින් නිරීක්‌ෂණය කරන්නට වූහ. ඔවුන් දුටුවේ මේ සතාව පෙළනා දැඩි වේදනාවකි. හො`දින් දකිනා විට අලියාගේ මුවින් ලේ වැගිරෙන ආකාරය ඔවුන්ට දකින්නට ලැබුණි.

කලෙක තම වගා බිම් පාළු කරමින් සිටි මෙම සද්දන්තයා වේදනාවට ගොදුරුව අසරණව සිටිනු දුටු සියල්ලෝම කම්පා වූහ. හක්‌කේපටස්‌ හදපු උන්ට සාප කළහ. එහෙත් යම් ප්‍රතිකාරයක්‌ කිරීමට ළ`ගට යාමටද නොහැකිය. එසේ ගියහොත් අත්වන ඉරණමද බිහිසුණුය. අතිශය දරුණු ලෙස වේදනාවෙන් පීඩිතව සිටි සද්දන්තයා වෙහෙරගල අවට පසුවදාද සැරිසැරුවේය. කුසගින්නට කොළ අත්තක දෙයක්‌ කන්නට ඉඩ නොතිබිණි. දිවත් හක්‌කත් කුඩු වී ගොස්‌ය. පුරා දෙදිනක්‌ මේ සද්දන්තයා ජීවත් වීමට පොර බදමින් සිටියේය. විටෙක පොළවේ පය ගසමින් දූවිලි ඇවිස්‌සුවේය. විටෙක අසල කුඹුර දෙසට පැමිණියේය. වේදනාවෙන් මොර ගසමින් යළිත් වන රොද තුළ සැ`ගව ගියේය. තුන්වන දිනය වනවිට දැඩි සේ තුවාල වී තිබූ අලියාගේ මුව තුළ වූ තුවාලයට පණුවන් ගසා තිබිණි. සද්දන්තයා යන මග පණුවො වැටී සිටියහ.

මේ වන විට ගැමියන්ට තමුන් පෙළුE වනඅලි ව්‍යසනය පිළිබ`ද අමතකව තිබිණි. අයෙක්‌ වනජීවී කාර්යාලය ඇමතීය.

මහත්තයො... අලියෙක්‌ හක්‌කපටස්‌ කාලා තුවාල වෙලා... ඌ නොවි`දිනා දුක්‌ වි`දිනවා. ඉක්‌මන ඇවිත් යන්න...

වනජීවී නිලධාරීහු පැමිණ මෙම සද්දන්තයා බේරා ගැනීමට මහා මෙහෙයුමක්‌ කළහ. එහෙත් දින කිහිපයක්‌ නිරාහාරව සිටි මෙම අසරණයා අන්ත දුක්‌ වි`ද වනාන්තරය තුළම මියගියේය. පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරීහු හස්‌තියා මියගොස්‌ සිටි තැනට පැමිණියේය. ඔවුන් දුටුවේ මේ ලෝකයේ කිසිම ප්‍රාණියෙකුට අත්නොවිය යුතු වේදනාවක්‌ වි`ද මියගිය මහා දැවැන්තයෙකුගේ අවසානය ය.

හක්‌කේ පටස්‌ හදන්නා

පසු ගිය වසරේ මිය ගිය මෙම සද්දන්තයා සමගින් මේ වන අලින් 06 දෙනෙකු හක්‌කේ පටස්‌ පිපිරීම නිසා අම්පාර දිස්‌ත්‍රික්‌කය තුළ පමණක්‌ මියගොස්‌ තිබේ. එය අම්පාරේ අලි මරණවලින් 13%කි. වන අලින් දුක්‌ වි`ද මැරෙන්නට සලස්‌වන මෙම තිරිසන් අපරාධය පිළිබ`දව පසුගිය දිනෙක අපි සොයා බැලීමක්‌ කළෙමු. හක්‌කපටස්‌ නැමැති මාරකය තනනා මනුෂ්‍යයෙක්‌ අපට හමුවන්නේ මේ අතරය. අපට හෙතෙම හමුවන්නේ මාස කිහිපයක්‌ තිස්‌සේ කළ සොයා බැලීමකින් අනතුරුවය.

නොබෝ වේලාවක්‌ කතා කිරීමෙන් අනතුරුව අප අතර සම්මුතියක්‌ ඇතිවිණි.

මහත්තයෝ හක්‌කේ පටස්‌ හදන එක ගැන විස්‌තර නම් කියන්න පුළුවන්. හැබයි මේවා ගැන දැනගෙන මාව වන ජීවී එකෙන් හරි පොලිසියෙන් හරි අරගෙන යයිද දන්නේ නැහැ. මහත්තයා මාව එහෙම අමාරුවෙ දාන්නෙ නැතිනම් මම මහත්තයාට හක්‌කේ පටස්‌ එකක්‌ හදන තැනේ ඉඳලා ඔක්‌කොම විස්‌තරේ පෙන්නන්නම්.

එසේ පැවසූ ඔහු හක්‌කේ පටස්‌ එකක්‌ හදන්නට පටන් ගත්තේය.

මහත්තයෝ ඔය හක්‌කේ පටස්‌ හදන ඒක ලෙහෙසි නැහැ. ඒක හරි අවදානම් වැඩක්‌. බැරි වෙලාවත් එහෙම ඔය හක්‌කේ පටස්‌ එක පිපිරිලා ගියොත් අතපය, ඇහැ විතරක්‌ නොවෙයි, ජිවිතයත් විනාශ වෙන්න ඉඩ තියෙනවා. අපේ ගමට කිලෝ මීටර දහයකට දොළහකට දුරින් ප්‍රදේශයක පදිංචි කෙනෙක්‌ හක්‌කෙ පටස්‌ හදන්න ගිහින් ඒක පිපිරිලා බොහොම බරපතළ විදිහට තුවාල උනා. මේ අනතුරුදායක වැඩේ මම කරන්නෙත් කැමැත්තකින් නෙවෙයි. හක්‌කේ පටස්‌එක පොඩ්ඩක්‌a තද වුණොත් පිපිරිලා යනවා. ඔහු පවසන්නට විය .

මම දැනට වසර ගණනාවක සිට හක්‌කේ පටස්‌ හදනවා. ඒත් ජීවිතයටම අලියෙක්‌ මැරෙන්න හක්‌කේ පටස්‌ තියලා නැහැ. අලියෙකුව මරන්න හක්‌කේ පටස්‌ තියන්නෙත් නැහැ. හැමදාම මගේ කුඹුරට ඌරෝ ඇවිත් විනාශ කරන නිසා තමයි මම හක්‌කේ පටස්‌ හදන්න පටන් ගත්තේ. හක්‌කේ පටස්‌ හදන්න කඩයෙන් එක්‌තරා රතිඤ්ඤා වර්ගයකින් 15 විතර අවශ්‍ය වෙනවා. එවායේ වෙඩිබෙහෙත් ටික ගලවලා එකතු කරලා අරගෙන කොළයකට දමලා අවශ්‍ය තවත් දේ දමලා හක්‌කේ පටස්‌ එක ඔතනවා. මේක ඇතුළට වතුර නොයන විදිහට හදන්න ඕන වෙනවා. එහෙම හදපු හක්‌කේ පටස්‌ එක වටේට අන්තමේදි වී හාල් කුඩු අලවනවා. එකේ සුව`දට ඌරෝ හක්‌කේ පටස්‌ එක තියෙන තැන හොයාගෙන ගොස්‌ කනවා .

හක්‌කේ පටස්‌ එකක්‌ හදන්න රුපියල් 150 ක්‌ විතර යනවා. මම මේවා හැන්දෑවට කුඹුරට අරගෙන ගිහින් පුංචි වළක්‌ කපලා ඒ වළේ දමලා ඒක උඩින් ගලක්‌ තියෙනවා. රෑට කුඹුරට එන ඌරො මෙම හක්‌කේ පටස්‌ එකේ සුව`දට මේක සොයාගෙන ඇවිත් හාරලා කනවා. මෙහම හක්‌කේ පටස්‌ එකක්‌ පිපිරිලා ඌරෙක්‌ මැරුණාම ආයි ඌරෝ මාස ගණනාවක්‌ යනකම් කුඹුර පැත්තට එන්නේ නැහැ.

හක්‌කේ පටස්‌ එක බිම වැටුණොත් පුපුරලා යනවා. පෑගුණොත් පුපුරලා යනවා. ඒක නිසා හරිම ප්‍රවේශමෙන් මෙම වැඩය කරන්න ඕන. ඇතැම් වෙලාවට හක්‌කේ පටස්‌ කාලා ගෝන්නු මුවන් එහෙමත් මැරෙන අවස්‌ථා තියනවා. මම නම් ඒ සත්තු මැරෙන්න කියලා හක්‌කේ පටස්‌ තියන්නේ නැහැ. ඇතැම් අය මෙම හක්‌කේ පටස්‌ අලි එන පාරවල්වලත් තියෙනවා. එතකොට අලියා මෙම හක්‌කේ පටස්‌ එක කනවා. සමහර වෙලාවට මෙ හක්‌කේ පටස්‌ වට්‌ටක්‌කා ගෙඩියක්‌ ඇතුළට දමලා අලි එන පාරෙ තියෙනවා වට්‌ටක්‌කා කන්න අලින් කැමැති නිසා ඉතා ආශාවෙන් අලියා වට්‌ටක්‌කා ගෙඩිය කද්දි හක්‌කේ පටස්‌ එක පිපිරෙනවා. ඌරෝ නම් ඒ වෙලාවෙම මැරිලා යනවා. නමුත් අලි මැරෙන්නේ වි`දවලා. ඔහු කියන්නේය.

අලින්ගේ ඛේදවාචකය

2011 වසරේදී සිදුකළ වන අලි සංගණනයේදී ලංකාවේ වන අලින් 5879 දෙනෙකු සිටින බවට හ`දුනා ගැනුණි. මෙම හස්‌ති සේනාවට ප්‍රමාණවත් වන පියසක්‌ ලංකාවේ නැත. මෙය බරපතළ අර්බුදයක්‌ දක්‌වා වර්ධනය වී තිබේ. වනාන්තර ප්‍රමාණය අඩු වෙද්දී මෙම සද්දන්තයෝ ආහාර සොයා ගම් වදිති. ඔවුන්ගෙන් පහර කෑමෙන් මිනිස්‌සු මිය යති. වෙඩි පහරින්, හක්‌කේ පටස්‌වලින්, විදුලි සැර වැද්දවීමෙන් දිනපතාම පාහේ අලි මරා දැමෙති.

පසුගිය 2010 වසරේදී අලි මරණ 227 ක්‌ අපේ රටින් වාර්තා වූයේය. ඒ අතරින් හක්‌කේ පටස්‌ නිසා වන අලියන් 11 දෙනෙකු ඉතා වේදනා බර මරණයකට පත් වූහ. 2011 වසරේදී දැවන්තයින් 255 ක්‌ මරා දමා තිබුණහ. ඉන් අලි මරණ 36 ක්‌ පමණ හක්‌කේ පටස්‌ නිසා සිදුවූ අතිශය වේදනාත්මක මරණය. 2012 වසරේදී අලින් 236 දෙනෙකු මරා දමා තිබුණු අතර ඉන් 35 දෙනෙකු මිය ගොස්‌ තිබුණේ හක්‌කේ පටස්‌ මාරයාට ගොදුරු වී දහදුක්‌ වි`දීමෙනි.

මේ ආකාරයෙන් විවිධ ආකාරයට අලින් මරා දමන පුද්ගලයින් හට රුපියල් ලක්‌ෂයකට නොඅඩු රුපියල් ලක්‌ෂ දෙකහමාරකට නොවැඩි දඩයක්‌ නියම කර තිබුණි. පසුව 2009 වසරේදී අංක 22 දරන වෘක්‌ෂලතා ආරක්‌ෂණ සංශෝධන පනත යටතේ එම දඩමුදල රුපියල් ලක්‌ෂ එකහ මාරකට නොඅඩු සහ රුපියල් ලක්‌ෂ පහකට නොවැඩි දඩයක්‌ ලෙස සංශෝධනය විය. ඊට අදාළව අධිකරණයේ අභිමතය පරිදි සිර ද`ඩුවම් වි`දීමට ද යටත් විය.

මරාගැනීම හෝ මරාදැමීම සොබාදහම තුළ හැමදාම තිබුණු නියාමයකි. එහෙත් සතෙකුගේ කෑම පතකට කුඩා බෝම්බයක්‌ සවිකර හකු දිව ඇතුළු මුඛයම පුපුරුවා හැර අනන්ත දුක්‌ වින්දවා මරණයට පත් කිරීම මොනම ලෝක ධර්මතාවයකටවත් එක`ග වන්නේ නැත. කෑම කන්නට යන සතාගේ හකු පුපුරා මිය ගිය විට ඒ මස්‌ උයාගෙන කන කාලකණ්‌ණිකම අපායට විනා මේ ලෝකයට ගැළපෙන්නේ නැත. අප තිරිසන්නුන්ටත් අන්ත ජීවී පිශාචයින් බවට පත්වෙමින් ඇති ආකාරය ගැන සිහිකළ යුත්තේ පිළිකුල් සහගත වේදනාවකිනි.

හක්‌කේ පටස්‌ අපට කියාදෙන්නේ මිනිසුන් ලෙස පිරිහී ඇති ප්‍රමාණයෙහි තරමය.

සුසන්ත අමරබන්දු

No comments:

Post a Comment