Sunday 9 June 2013

වර්ෂ 1956 දී මනමේ නාට්‍යය බිහිවීම සිංහල නාට්‍ය කලාව සඳහා තැබුණු මුල්ගල බවත් එය සිදු වූයේ කෙසේද?.

වර්ෂ 1956 දී මනමේ නාට්‍යය බිහිවීම අද දින ඇති සිංහල නාට්‍ය කලාවේ ප්‍රබෝධය සඳහා තැබුණු මුල්ගල බව අවිවාදයෙන් පිළිගැනේ. එය සිදු වූයේ කෙසේද?

1956 නොවැම්බර් 3 වැනි දින මනමේ නාට්‍යය කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී රංගගත වූයේ තමන් අතින් එබඳු සුවිසල් මෙහෙවරක්‌ වන බැව් නොදැන බව මනමේ නාට්‍යය වේදිකාගත කිරීමට දායක වූවන් විසින් තබා ඇති සමරු සටහන්වලින් පැහැදිලි වේ. එදා ප්‍රේක්‌ෂකයන්ට ලබාදුන් රංග පත්‍රිකාවෙන් නිෂ්පාදක ආචාර්ය සරච්චන්ද්‍රයන් එය හැඳින්වූයේ "අත්හදා බැලීමක්‌" කියාය. කොළඹ බලා ඒමට පෙර නළු නිළි කණ්‌ඩායම ඇමතූ ඔහු ඔවුන්ට කීවේ "කොළඹ දී නාට්‍යයට නරක ප්‍රතිචාර ලැබෙන්නට ඉඩ ඇත. එයින් දුර්මුඛ වන්නට එපා කියාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවම පහසුකම් ඇති පසුබිමකය, එය පුහුණුව ලද්දේ. එදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රංග ශාලාවක්‌ හෝ නාට්‍ය පුහුණුව හා රඟ දැක්‌වීම සඳහා වේදිකාවක්‌ හෝ තිබුණේ නැත. පුහුණුවීම් කෙරුණේ සරච්චන්ද්‍ර නිවසේ සහ ජුනියර් කොමන් රූම් නම් ශිෂ්‍ය පොදු කාමරයේය. අනුගමනය කළ යුතු රංග සම්ප්‍රදායන් නොතිබුණු අතර සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය සරච්චන්ද්‍ර තමන් සිංහල බලිතොවිල් හා ගැමි නාටක ගැන කළ පර්යේෂණයන් පදනම් කරගෙන "නාඩගම" නම් ගැමි නාට්‍ය ස්‌වරූපයේ මූලධර්ම නූතන යුගයට හා රුචිකත්වයට ගැළපෙන ලෙස සංස්‌කරණය කර ගත්තේය.

මේ සඳහා ඔහුගේ සහායට සිටියේ පැරැණි නාඩගම් ඇදුරෙකු වූ අම්පෙ චාර්ලිස්‌ සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේය. සාම්ප්‍රදායික නාඩගම නවීකරණය කැරුණේ අතීතයේ දින ගණනාවක්‌ ඇද ඇද රඟ දැක්‌වූ කතාව පැය දෙකකට සීමා වන ලෙස නාට්‍යමය අවස්‌ථා එකට කැටි කරමිනි. එසේම නාට්‍යයේ චරිතවල ස්‌වභාවය විශ්වසනීය ලෙසත්, නූතන රුචිකත්වයට ගැළපෙන පරිදි මානුෂීය ගුණාංග ඉස්‌මතු වන ලෙසටත් සකස්‌ විය. නාට්‍ය පෙළ කාව්‍යමය ගුණයෙන් යුතුව ලියන ලද්දේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ආභාසයද ලබමිනි. භාරතීය මහා සම්ප්‍රදායකට අයත් වූ ශ්‍රී ලංකාවේ නාඩගම්, සොකරි, කෝලම් මෙන්ම භාරතයේ විවිධ ප්‍රදේශවල පැවැති යක්‌ෂගාණ, භාගවත මේලා නාටක, හවායි සහ තේරුකුත්තු ආදිය මෙන්ම ගීතය හා නර්තනය මගින් කතාවක්‌ කියාපෑම බව සරච්චන්ද්‍රයන් පසක්‌ කරගෙන තිබුණි. එදා වන තෙක්‌ දේශීය නාට්‍ය සම්ප්‍රදායක්‌ ඇති බව හඳුනාගෙන නොසිටි ශ්‍රී ලාංකේය ප්‍රේක්‌ෂකයන්ට මනමේ නාට්‍යයෙන් හඳුන්වා දුන්නේ අපේ දේශීය නාට්‍ය කලාවේ ස්‌වරූපය කුමක්‌ද කියා ය. අපේ ජාතික කලා ඉතිහාසයේ මනමේ නාට්‍යයට ප්‍රෙෘඪ ස්‌ථානයක්‌ හිමි වන්නේ මේ නිසා වේ. මේ ඉතිහාසගත සිද්ධිය අපට කිසිසේත් අමතක කළ නොහැකිය.

සරච්චන්ද්‍රයන්ගේ ද සිංහල කලා රසිකයන්ගේද වාසනාවට ඔහු හා අත්වැල් බැඳ මෙම අනගි මෙහෙවර ඉටු කිරීමට එක්‌වූ තවත් විශිෂ්ට කලාකරුවෝ කීප දෙනෙක්‌ වූහ. එනම් නාට්‍යයේ සුවිශේෂ අවස්‌ථා වූ වැදි නැටුම හා යුද්ධ නැටුම නිෂ්පාදනය කළ ප්‍රවීණ නාට්‍ය ශිල්පී වසන්ත කුමාර, නළු නිළි ආයිත්තම්, අංග රචනය හා වේදිකා උපකරණ සැලසුම් කළ සියුම් කලා Æණයෙන් සපිරි චිත්‍ර ශිල්පියකු වූ ආචාර්ය සිරි ගුණසිංහ ඒ අතර ප්‍රධාන වෙති. අපේ භාග්‍යයට එදා සරසවි සිසුන් අතර සිටි එඩ්මන්ඩ් විෙ-සිංහ, බෙන් සිරිමාන්න, ටි්‍රලීෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන) ෂ්‍යාමන් ජයසිංහ ආදීහු විශ්මයජනක ලෙස ප්‍රවීණ රංගධරයන් ආකාරයෙන් නාට්‍යය එදා වේදිකාව මත මවා පෑවෝය. රෙජී සිරිවර්ධන හා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි විචාරකයෝ එම රංගනයෙන් වශීකෘත වූහ.

නාට්‍යයේ පළමු දර්ශනය දුටු ප්‍රවීණ විචාරක රෙජී සිරිවර්ධන ඉන් කෙතරම් වශීකෘත වූයේද යත් නොවැම්බර් 6 වැනි දින ඩේලිනිවුස්‌ පුවත්පතේ විචාරයක්‌ පළ කරමින් කියා සිටියේ "මනමේ" වනාහි අවිවාදයෙන් සිංහල වේදිකාවේ මා දුටු විශිෂ්ටතම කෘතිය බවය. එපමණක්‌ නොවේ. නාට්‍ය රසිකයකු ලෙස ලෝක, නාට්‍ය කලාව පිළිබඳ අත්දැකීම්ද සම්බන්ධ කරගත් ඔහු තවදුරටත් කීවේ "මා සහභාගි වී ඇති නාට්‍ය දර්ශන අතර කුමන බසකින් හෝ අතිශයින්ම සිත් කාවදින සුලු නාට්‍ය තුන හතරෙන් එකක්‌ එය වේ" කියාය. සිංහල නාට්‍ය කෙරේ අවඥ ඇසින් බැලූ ලංකාවේ ඉහළ පෙළැන්තියේ අයගේ ඇස්‌ ඇරවීමට රෙජී සිරිවර්ධනයන්ගේ මේ වදන් සමත් විය. මානවසිංහ (සරච්චන්ද්‍රයන් විරෝධියෙකු වූ නමුදු) කියා සිටියේ මනමේ "අභිරංගයක්‌" කියාය.

ඒ අසහාය නාට්‍ය නිර්මාණය ආසියාවේ නාට්‍ය කලාවේ ද සුවිශේෂ පියවරක්‌ වූ බව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. ශ්‍රී ලාංකීය අපගේද උරුමය වන භාරතීය මහා නාට්‍ය සම්ප්‍රදායෙන් අවශිෂ්ටව පැවැති යක්‍ෂගාණ, භාගවත මේලා නාටක, භවායි, තේරුකුත්තු ආදී වූ ජන නාට්‍ය විශේෂයන් පදනම් කොටගෙන නූතන රුචිකත්වයට සරිලන නව නාට්‍ය ස්‌වරූපයක්‌ බිහිකළ හැකි බව පළමුවරට ප්‍රායෝගිකව ප්‍රදර්ශනය වූයේ 1956 දී ශ්‍රී ලංකාවේ බිහිවූ සරච්චන්ද්‍රයන්ගේ මනමේ මගිනි. භාරතයේ එබඳු මඟක්‌ ගත් නිර්මාණ බිහිවන්නට පටන් ගත්තේ 1960 දශකයේදීය.



එවන් වූ ශ්‍රේෂ්ඨ නිර්මාණයක්‌ බිහිවී දැනට වසර 57 ක්‌ ගතවී තිබේ. නාට්‍යයේ නිර්මාතෘ සරච්චන්ද්‍ර, ඔහුට උපදෙස්‌ සැපයූ චාර්ලිස්‌ සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ, වසන්ත කුමාර ආදීනුත් නළුවන් වූ බෙන් සිරිමාන්න, එඩ්මන්ඩ් විෙ-සිංහ, නිළි ටි්‍රලීෂියා ගුණවර්ධන, වාදක මඬුල්ලේ සිටි හේමපාල විෙ-වර්ධන (පසුව මහාචාර්ය) ආදීනුත් අද අප අතර නැත. එහෙත් ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණාත්මක ශක්‍යතාවන්හි ගුණ සුවඳ අප අතර නොනැසී පවතී. ඒ හා සමගම එදා 1956 මනමේ නාට්‍යය බිහි කිරීමට දායක වූ විශිෂ්ටයන් ගණනාවක්‌ වියපත් ව හෝ අප අතර සිටීම වාසනාවකි.

"මනමේ ප්‍රත්‍යාවලෝකනය" (ඵ්බ්පැ සබ Resඑරදිචැජඑ) යනුවෙන් අප විසින් ලිපි සංග්‍රහයක්‌ සම්පාදනය කොට ඇත්තේ එම විශිෂ්ටයන් වෙත අපේ ප්‍රණාමය පුද කිරීම පිණිසය. එදා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් මනමේ නාට්‍යය ගැන ලියෑවුණු ලිපිද ඒ හා සමගම දැනට ජීවතුන් අතර සිටින මුල් මනමේ කණ්‌ඩායමේ සිටි ෂ්‍යාමන් ජයසිංහ, හේමමාලී ගුණසේකර (පසුව ගුණසිංහ), ලයනල් ප්‍රනාන්දු, අමරදාස ගුණවර්ධන හා ආතර් සිල්වා ආදීන් විසින් විශේෂයෙන් ලියා දුන් ලිපිද ඇතුළත් මෙම සංග්‍රහය 1956 මනමේ නිෂ්පාදනයේ ඡායාරූප සහ තවත් තොරතුරුද ඇතුළත් කර තිබේ.

මුල් මනමේ කණ්‌ඩායමට උපහාර වශයෙන්a මුද්‍රිත මෙම කෘතිය හා සමග මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මෙතෙක්‌ පළවී නැති භාරතීය දර්ශනය හා නූතන භාරතීය නවකතාව පිළිබඳ විමර්ශන ඇතුළත් "භාරතීය ශාස්‌ත්‍රීය විමර්ශන" ග්‍රන්ථය හා ඔවුන්ගේම නාට්‍ය හා සාහිත්‍ය කලාව පිළිබඳ ලිපි ඇතුළත් "සාර සංග්‍රහය" (නව සංස්‌කරණය) කෘතියත් මෙම ජූනි 10 සඳුදා ප.ව. 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී කලඑළි දැක්‌වේ. මෙහිදී මහාචාර්ය ෙ-. බී. දිසානායකයන් හා ආචාර්ය ලියනගේ අමරකීර්ති විශේෂ දෙසුම් පවත්වති. ඊට කලා රසිකයන්ගේ සහභාගිත්වය උදක්‌ම අපේක්‍ෂා කරමු.

මහාචාර්ය - කේ. එන්. ඕ. ධර්මදාස

No comments:

Post a Comment