Monday 10 June 2013

වින්සන්ට් සෝමපාල සංගීතඥයා මියගොස් පසුගිය 07 වෙනිදාට වසර විසිපහක් සපිරිණි.

ඔහු නිතරම සමාජයට මුහු වුණේ ‍පොතපත ලිවීම, ඉගැන්වීම, ප්‍රසිද්ධ දේශන පැවැත්වීම ආදී ‍පොදු මාධ්‍ය තුළිනි. පැරණි සාහිත්‍යයේ සංස්කෘත ශ්ලෝක හා උපමා රූපක ගෙන හැර පාමින් එදිනෙදා දිවියේ අත්දැකීම් රසකර කියමින් සංගීතය, සාහිත්‍ය යනාදී විෂයන් පිළිබඳව ඔහු කළ දේශනවලට ප්‍රේක්ෂකයෝ කාලය ගැන නොතකා සවන් දුන්හ.
සිරිලක හෙළ සංගීත කලාවක් ගොඩනැංවීමේ විශේෂ වුවමනාවක් තිබුණු වියතෙකු හැටියට මුණිදාස කුමාරතුංගයෝ අමතක කළ නොහැකිය. ඒ කාර්ය ඉටුකරලන්නට සෙවණැල්ලසේ පසුපස සිටියේ මේ ව්‍යක්ත මිනිසාය. මෙම ප්‍රයත්නය 1939 දී පළවුණු “හෙළ මියැසිය” ග්‍රන්ථයෙන් එළිදැක්විණ. කුමාරතුංගයන් විසින් රචිත මෙහි එන හෙළ ගී සියල්ලටම තනු නිර්මාණය කරන ලද්දේ මේ අසහාය සංගීතඥයා විසිනි. සිරිලක ස්වර ප්‍රස්තාර සහිතව පළවු මුල්ම ගීත සංග්‍රහය මෙය විය යුතුය. සුනිල් ශාන්තයන්ගේ මුල් යුගයේ ගායනාවලට මේ ගී තනුවල ආභාෂය ලැබි ඇතිබව පැහැදිලිය.

ශ්‍රී රාහුල හිමීගේ නාමේ
සුදි‍ලේ ලංකා ඉතිහාසේහී
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
විජයබ ස්වාමී ඒ තොගටමුවේ
සඟ රජ වී දැන තෙවළා දහමේ
ෂඩ් භාෂාවේ පරමේශ්වරවී
සිංහලයේ මහා කිවිඳා වූ
පිවිතුරු සී‍ලේ මේ සමිඳාගේ
දස අතෙහී අද පැතිරී පවතී
හෙළ භාෂාවේ නව ජීවනයේ ද්වාරය හැර තැබි කිවිඳා ඒ එච්.ඩබ්ලිව්.රූපසිංහ නම් වූ එකල අද්විතීය සංගීතඥයා විටෙක උච්චස්වරය නංවා මේ අපූරු පද පෙළ ගයන විට සවනට ඇතුළුවන්නේ කෙතරම් මිහිරි රසයක්ද? ඒ ගේය පද ගැළපූ රචකයා කවුරුන්දැයි විමසන්නට සිතෙන්නේ එවිටය.
 ඒ සොඳුරු මිනිසා වින්සන්ට් සෝමපාලය. සංගීතය පුරුදු පුහුණු කර ගැනීමේ අසිරියෙන් සංගීත විචාරයෙහි යෙදෙන ජයන්ත අරවින්දගේ පියාය. වින්සන්ට් සෝමපාලයන් වෙතින් ග්‍රැම ෆෝන් ගීයට එකතු වූ පදවැල් අල්පය. එහෙත් ඒ එකතු කරන්නට යෙදුණු කීපය හෝ තවමත් නොමැකී පවතී.
මව් පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කා‍ලේ නොමඳ ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතුවේ
ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා යන මේ අගනා ප්‍රතිඵල නේකා
ගෙන දේ සංකා නෑ මෙලොවේ
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

ලෝක නාථගේ මංගල සූතේ‍ර්
ඒ විශේෂයෙති පා වදාළේ
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී
කළ යුතු සංග්‍රහයෙන්ම පුදවූ
කුල දෙටුවන් සෑමා
එච්.ඩබ්ලිව්.රූපසිංහ සිය ගැඹුරු ස්වරය නංවන විට කෝකිළ දේවී වීරතුංග කෝකිළාවක ලෙසින් එය රස ගන්වන සැටි කෙතරම් අපූරුද?
 සිරි බුද්ධ ගයා විහාරේ” ගීතය ඇතුළත් එච්.එම්.වී. තැටි අංක එන්.9300 යෙහි  අනෙක් පැත්තෙහි දක්නට ලැබෙන්නේ එච්.ඩබ්ලිව්.රූපසිංහ සහ රුක්මනී දේවි විසින්ම ගයනු ලබන “ශිල්ප සතර ලෝකේ” නම් ගීයයි.
එච්.ඩබ්ලිව්.රූපසිංහ නම් අසහාය සංගීතඥයා ජීවත්ව සිටියදී කර ඇති ප්‍රකාශයක් අනුව “සිරි බුද්ධගයා විහාරේ” ගීතය පද ගළපා ඇත්තේ ගිල්බට් වීරසේකර හෙවත් චන්ද්‍රසේන වීරසේකරය. එහෙත් එහි ගායනයට සුදුසු වන ආකාරයට හොඳින් පද සකස් කර ඇත්තේ ඩබ්ලිව්.ඩී.මර්සලීනු ඇල්බට්ය.
 එහෙත් පසු කාලයේ මේ ගී වල ඇති  ජනප්‍රියතාවය නිසා ඒවායේ අයිතිය වෙනත් රචකයන් පවරා ගන්නට දැරූ උත්සාහයන් දක්නට ලැබිණි. ‍ලේඛනගතව පැහැදිලි සාක්කි තිබියදී එසේ කිරීම කරුණු විකෘති කිරීම අනුවණ කමකි. ශිල්ප සතර ලෝකේ නම් ගීයේ රචකයා වින්සන්ට් සෝමපාලය.
ශිල්ප සතර ලෝකේ නින්දා නොමදේවි
ශෝබන වූ කීර්ති මාලා පැළඳේවි
වේවි මනහාරී සම්පතා සදාවි
දුසිරි දුරැර ලෝ දන නිසි මගෙහි යොදවාවි
අභිනන්දන හර්දෙ සදා ලෝකය සනසාවි
නින්දා නොම දේවි ලෝකෙ නිසිකාරි සැමා අතනෑරි
ගෞරව නිතින ලබන ලෙසින සලසා ගුණ පාවි
එයින වනනු නොහැක අගේ
ශිල්ප සතර ලෝකේ නින්දා නොමදේවි

වින්සන්ට් සෝමපාල සංගීතඥයා උපන්නේ පානදුරේ පිහිටි මුළු හතෙන් එකක් වන සාරික්කාලි මුල්‍ලේය. දොන් මර්තේලිස් මාස්ටර් නාඩගම්වලට සංගීතය සැපයූ සංගීතඥයෙකි. පියා වයලීනය වාදනය කරමින් නාඩගම්වලට සංගීතය නිර්මාණය කරන අයුරු බලා සිටි කුඩා සෝමපාලටද සංගීතය ගැන ලොකු ඇල්මක් ඇතිවිය. සිය පියාගෙන් වයලීනය වැයීම පුරුදු පුහුණු වූයේ එම ආශාව මුදුන්පත් කැරගැනීමටය.
 වැලිවිටියේ සෝරත, මැද උයන්ගොඩ විමලකිත්ති, පැලෑනේ වජිරඥාණ යන මා හිමිවරුන් ඇසුරු කිරීමෙන් සිංහල, සංස්කෘත භාෂා දැනුම ලබා ගැනීමට   පෙළඹුණු ඔහු ඒ සියල්ලටම වඩා සංගීතයට මුල්තැන දුන්නේය.
සාදිරිස් සිල්වා මාස්ටර්ගේ බජව් වඩාත් ඔහුගේ සිත් දිනාගත්තේය. මේ බලපෑම නිසා ශාස්ත්‍රීය සංගීතය කෙරෙහි වූ ඇල්ම වඩ වඩාත් තහවුරු විය. එකල ශාස්ත්‍රීය සංගීතය කෙරෙහි මහජනයා මෙතරම් ඇල්මක් දැක්වීමේ රහස හෙළිදරව් කර ගැනීමේ  වුවමනාවෙන් සෝමපාලයෝ ඔහුගෙන් සංගීතය හැදෑරීමට පෙළඹුණහ.
 සාදිරිස් මාස්ටර් ගායනයට මෙන්ම සර්පිනා, තබ්ලා, වයලීනය ආදී භාණ්ඩ වාදනය කිරීමට දක්ෂයෙකු විය. පසුකාලයේ සාදිරිස් මාස්ටර්ගේ බජව්වලට සහභාගි වීමේ වරම සෝමපාලයන්ටත් ලැබිණි. 925දී පානදුරේ වෙසක් කැරොල් පැවැත්වීමේ අවස්ථාව සෝමපාලයන්ට ලැබුණෙන් එයින් විශාල ප්‍රසිද්ධියක් අත්කර ගන්නට හැකිවිය. එදා කැරොල් ගීයක් අසා සිටි භාරතයෙන් පැමිණි උස්තාද් කෙනෙක් සිය හිස් වැස්ම ගලවා පළඳවා ගෞරව කළේය.
 පසුකාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් පත්වූ වින්සන්ට් සෝමපාලයෝ සංගීත පරීක්ෂකවරයෙකු වශයෙන් වසර 13ක්ම තම සේවය නොපිරිහෙළා ඉටුකළහ. එදා සිසුන්ට ගැයීමට සුදුසු ළමා ගී ‍පොත් නොතිබුණු බැවින් ශිෂ්ට ගීත, භාවිත ගීත, ආදී වශයෙන් ‍පොත් පෙළක් සැකසුණේ සෝමපාලයන් අතිනි.
“‍පොතෙන් හා දේශනයෙන්ම පමණක් සිංහල සංගීතයක් නිර්මාණය කරන්නට බැහැ. මා ආශ්වාදය ලැබුවේ සංගීත නිර්මාණයෙන්. එය තර්කානුකූල ලෙස ඉගැන්වීමෙන් හා සංගීතයේ දාර්ශනික පැත්ත ගැන කල්පනා කිරීමෙන් හා තර්ක කිරීමෙනි. තර්කය විනෝදයක් කොටගත් සෝමපාලයෝ ගෝලයන් සමග තර්ක කිරීමම ඉගැන්වීමේ ක්‍රමය ලෙසම භාවිතා කළහ. සංගීත විශාරද අමරදේවයන් මෙන්ම ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහද එක්තරා කාලයක වින්සන්ට් සෝමපාලයන්ගේ ගෝලයෝය.
 සංගීත ගුරුවරයෙකු වශයෙන්ද සංගීත පරීක්ෂකයෙකු වශයෙන්ද අඩ සිය වසක් පමණ සේවය කර ඇති මෙම සංගීත විද්වතා සංගීතය පිළිබඳව සෑහෙන  පර්යේෂණයක යෙදුණු කෙනෙකි. හින්දි සංස්කෘත හා ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් පළ වූ සංගීත ‍පොත් රාශියක් පරිශීලනය කර ඇති වින්ස්ටන් සෝමපාලයෝ ගීත කලා නිධි ගීත විද්‍යා, සංගීත පදාර්ථය, දශතාල ලක්ෂණ ආදී ‍පොත් ලියා පළ කළහ.
1954දී ගාන්ධර්ව සභාවෙන් සංගීත විශාරද උපාධිය ලබාගත් මෙතුමා ඒ සඳහා ගීත කලා නිධි පර්යේෂණ ග්‍රන්ථය ඉදිරිපත් කළහ. පර්යේෂණ ග්‍රන්ථයක් ලියා මෙවැනි සම්මානයක් ලැබූ පළමු වන තැනැත්තා සෝමපාලයෝය.
 මෙතුමා පිළියන්දල පදිංචියට පැමිණි පසු සිය නිවහන නම් කළේ “සරමිහිර” යනුවෙනි. සතර දිග් භාගයෙන් පැමිණි සිසුන්ට, ශිල්පීන්ට, ගුරුවරුන්ට, එය සංගීත නිජබිම වූවා යැයි පැවැසීම නිවැරදිය. මහා සංගීතඥ වින්සන්ට් සෝමපාලයෝ මියගොස් පසුගිය 07 වෙනිදාට වසර විසිපහක් සපිරිණි.

 
ගොංගිතොට ප්‍රේමරත්න

No comments:

Post a Comment