Friday 31 May 2013

කඳුළින් ඩහදියෙන් ලෙයින් ජීවිතය පවා කැප කර තම ජනතාව වෙනුවෙන් බිහි කළ කියුබානු සමාජවාදී රාජ්‍යයේ සෞඛ්‍ය රහස

තෙවන ලොව රටවලට ආදර්ශයක්‌ වූ
කියුබානු සෞඛ්‍ය සේවය

කියුබාව යන නම ඇසෙත්ම අපගේ මතකයට නැගෙන්නේ මුහුණ පුරා රැවුල වවාගත් නායකත්වයේ පෞරුෂත්වයෙන් හෙබි පිදෙල් කැස්‌ත්‍රෝය. නැතහොත් හවායි සුරුට්‌ටුවක්‌ දල්වා ගත් තරු ලකුණු පැලඳි තොප්පියක්‌ දැරූ විප්ලවයේ අසහාය සංකේතයක්‌ වූ චේගුවේරාය. එහෙත් මේ සඳහන් කිරීමට යන්නේ පිදෙල් කැස්‌ත්‍රෝ හෝ චේගුවේරා ගැන නොව එවන් සමාජවාදී විප්ලවවාදීන් කඳුළින් ඩහදියෙන් ලෙයින් ජීවිතය පවා කැප කර තම ජනතාව වෙනුවෙන් බිහි කළ කියුබානු සමාජවාදී රාජ්‍යයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අද දක්‌නට ලැබෙන දියුණුවේ රහස ගැනයි.

තම බලය හා පැවැත්ම වෙනුවෙන් කලින් කලට ප්‍රතිපත්ති වෙනස්‌ කරන ජනතාව රැවටීමට බොරු පොරොන්දු දෙන කෙටි කාලීන දේශපාලන අරමුණුවලින් යුත් අපේ රටේ දේශපාලනඥයන්ට මේ කතාව පරමාදර්ශයකි. මෙය පෞද්ගලීකරණය හරහා රටේ ආර්ථික, සමාජයීය, දියුණුව ලබාගත හැකි යෑයි සිහින මවන අල්ලස, දූෂණය ටෙන්ඩර මගඩිවලින් සාක්‌කු තර කර ගන්නා පාලකයන්ට කනේ පහරක්‌ බඳුය.

ශ්‍රී ලංකාව වැනි තෙවන ලොව දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නැංවීමට ප්‍රමාණවත් තරම් ආදායම් මිල මුදල් නොමැති බවට පාලකයෝ මැසිවිලි නඟති. ජනතාව ද ඉන් සෑහීමකට පත්වෙති. එහෙත් කියුබානු පාලකයෝ මීට ප්‍රතිවිරුද්ධ ලෙස සිතන අතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව හරහා ආර්ථික දියුණුව ද ළඟා කරගත හැකි බව තරයේ අදහති. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දියුණු වූ විට ඒ ප්‍රතිලාභ නිරෝගිමත් ජාතියක්‌ බිහි කරන බවත් රටේ ආර්ථිකය ද ඉන් ශක්‌තිමත් වන බවත් ඔවුහු කල්පනා කරති. සැබෑ විප්ලවවාදීන් එබඳුය.

"රෝහල් දියුණු කිරීමට මුදල් නැහැ" වෛද්‍යවරුන්ට පත්වීම් දීමට මුදල් නැහැ", "ත්‍රිපෝෂ නිකුත් කරන්නට මුදල් නැහැ", "ඩෙංගු මර්දනයට මුදල් නැහැ" වැනි කියුම් කියුබාව තුළින් ඇසෙන්නේ නැත. අද කියුබාව ලබා ඇති සෞඛ්‍ය දියුණුව දියුණු නවීනතම තාක්‍ෂණයෙන් පිරිපුන් ඇමරිකාව, ස්‌වීඩනය, ජපානය හෝ සිංගප්පූරුවේ මට්‌ටමටම පැමිණ ඇත.

කියුබාව දෙස වැරදි ඇසින් බැලීම නවත්වා ඔවුන්ගෙන් ආදර්ශයක්‌ ගෙන තෙවන ලොව දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් ඉදිරියට යා යුතු යයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එහෙයිනි. 1959 දී කියුබානු විප්ලවය සිදුවන යුගය වන විට එරට සෞඛ්‍ය අංශයද පෞද්ගලීකරණයට නතු කෙරෙමින් තිබූ අතර ඈත එපිට දුප්පත් ගම්මානවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් නොලැබුණු තරම් විය. නාගරික මැද පන්තිය පමණක්‌ යම්තම් හෝ සෞඛ්‍ය සේවා ලබා ගත්හ.

එම යුගයේදී එක්‌ වෛද්‍ය විද්‍යාලයක්‌ පමණක්‌ තිබූ අතර ශික්‍ෂණ රෝහල් ද පැවතියේ එකකි. රටේ සිටි වෛද්‍යවරුන් 6300 දෙනා ගෙන් තුනෙන් දෙකක්‌ම ජීවත් වූයේ කියුබාවේ අගනුවර වූ හවානා නගරයේය.

ග්‍රාමීය ජනතාවට සෞඛ්‍ය පහසුකම් වෙත ළඟා වීමට හැකියාවක්‌ නොවිණ. රටේ දේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තිත්, සෞඛ්‍ය උපාය මාර්ගත් එක්‌කර තනි ව්‍යුහයක්‌ ගොඩනඟා ප්‍රජා සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය අමාත්‍යංශයක්‌ ගොඩනඟා ගනු ලැබුවේ මේ විෂමතාව බිඳ හෙළනු පිණිසය. සනීපාරක්‍ෂාව හා ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන කෙරෙහි මුල් යුගයේදී විශේෂ අවධානයක්‌ යොමු කරනු ලැබීය. එසේම ග්‍රාමීය ප්‍රදේශ දක්‌වා සෞඛ්‍ය පහසුකම් විහිදී යැම කෙරෙහි සුවිශේෂ ප්‍රමුඛත්වයක්‌ දෙනු ලැබීය. ග්‍රාමීය වශයෙන් සියලුම රෝගවලට ප්‍රතිකාර ලබාදෙන බහු සායන (Poly Clinics) පිහිටුවනු ලැබීය. ඉන්පසුව ග්‍රාමීය රෝහල් පිහිටුවනු ලැබිණි.

1980 වන විට ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට තවදුරටත් සුවිශේෂ අවධානයක්‌ ලබාදෙනු ලැබූ අතර ඒ සඳහා විශාල වශයෙන් ප්‍රජා වෛද්‍යවරුන් පුරුදු පුහුණු කරනු ලැබූහ. 1990 වන විට ග්‍රාමීය වශයෙන් විශාල කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණයක්‌ සේවයේ යොදවා තිබිණි. මීට පුහුණු හෙද හෙදියෝද අයත් වූහ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සෑම පවුල් 120-160 ප්‍රමාණයකටම විශේෂඥ වෛද්‍යවරයෙකු හා හෙදියක යෙදවීමේ හැකියාව කියුබාවට ලැබිණි. මේ වන විට එරට ප්‍රජා මට්‌ටමේ විශේෂඥ වෛද්‍යවරුන් 31000 ක්‌ පමණ සිටින බැවින් සෑම පුද්ගලයින් 170 කටම එක්‌ වෛද්‍යවරයෙකු බැගින් ලැබී ඇත.

කියුබාව එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 කට ආසන්න ප්‍රමාණයක්‌ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මේ වන විට යොදවා ඇත. ග්‍රාමීය රෝහල් වෙතටද එකෝ, ස්‌කෑන්, MRI වැනි පහසුකම් ලබාදී ඇත. බහු සායනවලදී එන්ඩොස්‌කොපි පරීක්‍ෂණ පවා සිදු කෙරෙයි. මේ නිසා ප්‍රධාන රෝහල් වල තදබදයක්‌ නොමැත.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උණ, සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීමට වඩා වැඩි යමක්‌ සිදුනොවන තරම්ය. එහෙත් දරුවකු බිහි වීමට පෙර සිටම කාන්තාවන්ට උපදේශන සේවා ලබාදීම, සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ සිට දරුවකු බිහිවූ පසුව ඔහු රැක බලා ගැනීමට (Wellbaby clinic) විශේෂ අවධානයක්‌ කියුබාව තුළ ග්‍රාමීය මට්‌ටමෙන් ද යොමුකර ඇත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇමරිකාව වැනි රටක ළදරු මරණ අනුපාතිකය හා කියුබාවේ ළදරු මරණ අනුපාතිකය බොහෝදුරට සමාන අගයකි. 1975 දී කියුබාවේ මේ අගය දහසකට ළදරු මරණ 25-30 ක්‌ අතර වෙද්දී ඇමරිකාවේ එය 15-18 අතර වුණි. මේ වන විට ඇමරිකාවේ ළදරු මරණ අනුපාතය දහසකට දහයට අඩු අතර කියුබාවේ මේ අගය ඇමරිකාවට ද වඩා පහළ අගයකි.

ඇමරිකාව කැනඩාව වැනි රටක දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 30,000-40,000 වැනි ඉහළ අගයකි. එහෙත් කියුබාවේ මේ අගය ඩොලර් 1000 ක්‌ පමණි. එසේ නම් කියුබාව මේ සියලු රාජ්‍ය අභිබවා මෙතැනට පැමිණ ඇත්තේ කෙසේද? පටු වාද භේදවලින් තොර , දිගුකාලීන දැක්‌මකින් කියුබාව නමැති නෞකාව මෙහෙයවීමට එහි පාලකයන් සමත්වීම එහි රහසය. අසල්වැසි ඇමරිකාවේ රැවුම් ගෙරවුම්, ආර්ථික සම්බාධක, මරණ තර්ජන ආදී සියලු බාධා ගල්පර මැද ඉතා සූක්‍ෂම ලෙස මේ නෞකාව ජයග්‍රහණයේ දියඹ වෙතට ගෙන ඒමට පිදෙල් කැස්‌ත්‍රෝ ප්‍රමුඛ රාජ්‍ය පාලකයෝ සමත්ව ඇත.

කියුබාව තම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව ප්‍රජා සෞඛ්‍යට පමණක්‌ සීමා කළේ නැත. නවතම විද්‍යා තාක්‍ෂණික සොයා ගැනීම්, නව හඳුන්වාදීම් වැනි විවිධ විද්‍යාත්මක පර්යේෂණ වලින් ද ජයග්‍රහණය ලබා ඇති රටකි. කියුබාව, බටහිර රටවල් මත යෑපෙමින් විදෙස්‌ රටවලින් ආධාර හා දැනුම් ලබාගෙන ගිරවුන් මෙන් කට පාඩම් සංස්‌කෘතියක්‌ හෝ පොතේ ගුරුන් වීමෙන් ඔබ්බට ගොස්‌ තමන් උගත දෙයින් අලුත් යමක්‌ සිතීමට නිපදවීමට කියුබානු විද්‍යාඥයෝ සමත්ව සිටිති.

1962 වසර වන විට ලොව පළමු වරට පෝලියේ රෝගය මුලිනුපුටා දමන ලද්දේ කියුබාවෙනි. 1996 වන විට සරම්ප රෝගයද මර්දනය කරන ලද ප්‍රථම රාජ්‍යය බවට එරට පත් විය. ඇමරිකාවට සාපේක්‍ෂව අඩුම HIV/AIDS රෝගීන් පිරිසක්‌ සිටිනුයේ කියුබාවේය. ඩෙංගු රෝගය මර්දනය සඳහා සාර්ථක වැඩපිළිවෙලක්‌ දියත් කළ රාජ්‍යයද කියුබාවයි. සෑම පවුල් 120-160 ප්‍රමාණයකටම වෛද්‍යවරයකු එහි සිටින අතර ලොව අධි රුධිර පීඩනය පාලනය අතරින් පෙරමුණේ ම සිටියි. එරට හෘදයාශ්‍රීත මරණ සංඛ්‍යාව සියයට 45 කින් පමණ අඩුවී ඇත.

මේ අතර දළ ළදරු මරණ අනුපාතය දහසකට 5.8 ක්‌ පමණ වෙයි. ඇමරිකානු රාජ්‍යයක්‌ සඳහා වන සාර්ථක හා කාර්යක්‍ෂම සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙනු ලැබුවේද කියුබාවය. පළමුවරට මානව බහු සැකරයිඩ් එන්නත බිහි කළේද කියුබාවය.

මෙනින්ජයිටිස්‌ BV රෝගයට පළමු වරට එන්නතක්‌ නිර්මාණය කළ අතරම Haemophilus influenzae-B (Hib) සඳහා කෘත්‍රිම ප්‍රතිදේහජනක එන්නතක්‌ ද බිහි කරමින් ජාත්‍යන්තර ජෛව විද්‍යාත්මක පර්යේෂණවලට ද එක්‌ විය. කිසියම් රෝගයක්‌ පැතිර යන විට එයට එරෙහිව එන්නතක්‌ එක්‌ දින වැඩසටහනක්‌ යටතේ යොදාගෙන ලබා දීමත් එසේ නොවන විට රෝගයට ගොදුරු වීමට ඉඩ ඇති සියලු දෙනාම සොයා ප්‍රතිකාර කිරීමත් මගින් බොහෝ රෝග මර්දනයට කියුබාව සමත්වී ඇත. රෝග වාහකයින් ගේ බිජුලන ස්‌ථාන මර්දනය හරහා රෝග සම්ප්‍රේෂණය අඩපණ කිරීමෙන් ඩෙංගු වැනි රෝගවලටද තිත තබා ඇත.

එතෙකින් නොනැවතී එරට අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල සිසුනට නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන අතර තවත් දිළිඳු රටවල් 52 ක සෞඛ්‍ය වෘත්තිකයන් 34,000 කට ආධාර ලබාදීම සිදුකරයි. මේ අනුව 1959 කියුබානු විප්ලවයේ සිට ගත වූ දශක පහකට ආසන්න කාලය පුරා දිනෙන් දින සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පෙරට පැමිණ ඇත. දිගුකාලීන ප්‍රතිපත්තීන්, ලාභය හෝ කොමිස්‌ මුදල් නොව ජනතාවගේ සුබ සාධනය කේන්ද්‍රගතවූ අරමුණත් ඔවුන් මේ ජයග්‍රහණය වෙත ගෙන යැමට පහන් කණුවක්‌ සේ මග පෙන්වා ඇත.

International Journal of Epidemiology හෙළි කරන තොරතුරුවලට අනුව මේ වන විට ලොව වඩාත්ම සංවිධානාත්මක සෞඛ්‍ය ව්‍යුහයක්‌ පවතින්නේ කියුබාවේය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බෝ වන ආසාදන රෝග මෙන්ම බෝ නොවන ආසාදන නොවන රෝගවලට ගොදුරු වන සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. වෛද්‍යවරුන් හෝ විද්‍යාඥයින් නිකම්ම වැටුප් ලබන සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන් වනවා වෙනුවට රටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවූ පිරිසක්‌ බවට පත්කර ඇත. තම දැනුම සොයා යැමත්, එම දැනුම ජනතාවගේ සෞඛ්‍යය නැංවීම පිණිස භාවිතයටත් හුරුකර ඇත.

ආර්ථික වශයෙන් දිළිඳු හා විවිධ අභියෝග මැද්දේ කියුබාව ලබාගත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වැනි තෙවන ලොව රටවලට ආදර්ශයකි. දළ දේශීය නිෂ්පාදිතය අඩු වීම, ආර්ථික සංවර්ධනයක්‌ නොවීම වැනි හේතු මත බොහෝ රටවල සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පවතින්නේ ඉතා පහත් මට්‌ටමකය. එහෙත් කියුබාව මේ අභියෝගවලට විසඳුම් සොයාගත් අතර රටේ සියලුම ජන කොටස්‌ අතර ආර්ථික සමානාත්මතාව ඇති කිරීමටද ක්‍රියා කළේය.

මේ අනුව කියුබාව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මේ ලබාගත් දියුණුව අතිමහත් වියදමක්‌ දරා අත්පත් කරගත්තක්‌ නොවෙයි. එය උත්සාහය, ධෛර්යය, අධිෂ්ඨානය තුළින් දිගුකාලීන සැලැස්‌මක්‌ හරහා ලබාගත් උත්තුංග ප්‍රතිඵලයයි.

ගෙවීගිය දශක පහක කාලය තුළ අප කොතැනද?



                                                                                                                      

No comments:

Post a Comment