Monday 22 April 2013

පක්ෂයේ ඉතිහාසය - ජනතා විමුක්ති පෙරමුණ (I කොටස)

  පක්ෂයේ ඉතිහාසය - ජනතා විමුක්ති පෙරමුණ    (I කොටස)
ජනතා විමුක්ති පෙරමුණේ ගමන්මග පිළිබද සාකච්ඡා කෙරෙන මෙම කෘතිය 2008 මැයි සිට පක්ෂයේ ඉතිහාසය පිළිබදව නියමුවා පුවත්පතේ 'මහෝඝය'නමින් පළවූ ලිපි එකතුවකින් සකස් වූවකි. එම ළිපි මාලාවට අත්‍යවශ්‍ය සංශෝධනයන් එකතු කරමින් මෙම කෘතිය නිමවා තිබේ. ජවිපෙ ඉතිහාසය කොටස් වශයෙන් හෝ පළකිරීමට බලපෑ සාධක කිහිපයක් වේ. එක් අතකින් විවිධ පටු පෞද්ගලික හේතු මත හා වැරදි දේශපාලන සංකල්ප මත ජවිපෙන් ඉවත්ව ගිය කණ්ඩායම්ද 1971' සිට ජවිපෙ තුළ සිට පසු කලෙක ද්‍රෝහීන් ලෙසත් පාවා දෙන්නන් ලෙසත් විශ්වාශය බිදගත් අය ලෙසත් ජවිපෙන් ඉවත්ව ධනපති ක්‍රමය තුළ වහලුන් බවට පත්ව සිටින අයද තම පටු හා කල්ලිවාදී වුවමනාවන්ට අනුව ජවිපෙ ඉතිහාසය විකෘති කිරීමට උත්සහා දරමින් තිබේ. ජවිපෙ ඉතිහාසය පිළිබදව රෝහණ විජේවීර සහෝදරයාගේ දර්ශනය හා ක්‍රියාමාර්ග පිළිබදව විකෘති කරන ලද අදහස් පළ කරමින් මෙම ප්‍රතිවිප්ලවකාරී හා අවස්ථාවාදී කණ්ඩායම් ඒ මගින් තම දේශපාලන අවස්ථාවාදයේ නිරුවත වසා ගැනීමට උත්සහා කරමින් සිටිති.
ජවිපෙ ගොඩනැගීමට දායක වූවන් හා එහි ඉතිහාසය පිළිබද කරැණු නිවැරිදි ලෙස දන්නා නායකයින් රැසක් ඝාතනය කර ඇති තත්වයක් තුළ ජවිපෙ ඉතිහාසයට අදාල ලිපි ලේඛන රැසක් ජවිපෙට එරෙහි පැවති මර්දනකාරී කාල වල විනාශ කර දමා ඇති තත්වයන් තුළ ජවිපෙට දෝහී වූවන් සහා ජවිපෙන් පළාගියවුන් සත්‍ය පැවසීම වෙනුවට තමන් වෙනුවෙන් බොරු කරුණු විග්‍රහයන් කෙරෙන තත්වයක් තුළ පක්ෂයේ ඉතිහාසය ලිවීම පහසු කටයුත්තක් නොවේ. මෙම කෘතිය මගින් ඉටුකිරීමට උත්සහ දරා ඇත්තේ එම අසීරැ කටයුත්තයි. මෙහිදී අපගේ අවධානය යොමු වූයේ පක්ෂය ගැන තිබෙන විවිධ සිදුවීම් හා තොරතුරැ වාර්තා කිරීමට නොව අත්‍යවශ්‍ය සිදුවීම් හා කරැණු පමණක් සටහන් කරමින් පක්ෂ ඉතිහාසයේ දේශපාලන හරයන් මතු කර ගැනීමය. සිදුවීම් වියුක්තව හා හුදකලාව ඉදිරිපත් කරනවා වෙනුවට එකී කරැණු වලට බලපෑ ඓතිහාසික තත්වයන් සමාජ වටපිටාවන් විෂයමූල තත්වයන් හදුනා ගනිමින් පක්ෂයේ ගමන් මග ඓතිහාසිකවත් විෂය මූලිකවත් පංතිමය අන්තර් සම්බන්ධතාවයන් තුලත් සලකා බැලීමය. පක්ෂයේ ඉතිහාසය පුද්ගල දෘෂ්ඨි කෝණයෙන් බලනවා වෙනුවට දේශපාලන දෘෂ්ඨියකින් බලා විග්‍රහ කිරීම අපගේ අරමුණ විය. මෙය ජනතා විමුක්ති පෙරමුණ පිළිබදව නිවැරිදි චිත්‍රයක් ලබාදීමට සමත් වනු ඇතැයි අප සිතමු!

" පක්ෂ අරගලවලින් පක්ෂයට ශක්තිය හා ජීවය ලැබේ පක්ෂයක දුර්වල කම් දක්වන බලවත්ම සාක්ෂ්‍යය වන්නේ එහි ලිහී විසිරැණූ ස්වභාවය සහ පැහැදිලි සීමා සටහන් දුර්වල වීමයි. පක්ෂය ශුද්ධ කර ගැනීමෙන් එය වඩාත් ශක්තිමත් වේ"

(ලසාල් මාක්ස් වෙත යැවූ 1852 ජූනි 24 දින ලිපියෙන්-ලෙනින් තෝරාගත් කෘති 1 වෙළුම 112 පිටුව)

1965 මැයි 14 දින වෙසක් ‍පොහෝ දිනයක් විය. එදින විශේෂ දිනයක් වූයේ ඒ නිසාම නොවේ. ගාල්ලේ අක්මීමන කම්කරැවෙකුගේ නිවසට එක්වූ තරැණයන් 7 දෙනෙකු ලංකාවට නව විප්ලවවාදී ව්‍යාපාරයක් බිහිකිරීමේ සාකච්ඡාවක නිරත වූයේද එදිනම වූ නිසාය. මෙම තරුණ කණ්ඩායමේ සාකාච්ඡාව මෙහෙයවනු ලැබුවේ එවකට 22' වෙනි වියේ පසුවූ රෝහණ විජේවීර සහෝදරයාය. ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන ව්‍යාපාරයට උපත ලබා දීමේ සමාරම්භය සනිටුහන් වූයේ එම සාකාච්ඡාව මගිනි. ජනතා විමුක්ති පෙරමුණ නමින් පසුකලෙක නම් කරනු ලැබූ මෙම තරුණ විප්ලවවාදී ව්‍යාපාරය බිහිවූයේ පුද්ගල හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් ලෙස හෝ අහම්බයක් ලෙස නොවේ. නිෂ්චිත සමාජ ‍ඓතිහාසික වුවමනාවක් ඉටුකිරීම වෙනුවෙනි. ජවිපෙ බිහි වීමට මග සකස් කළ ජාතික හා ජාත්‍යන්තර තලයේ මතුවූ තත්වයන් ගණනාවක් තිබිණි. ජාතික හා ජාත්‍යන්තර තලයේ දේශපාලනය විසින් මතුකළ සාධක ගණනාවක් ජවිපෙ බිහිවීමට හේතුවිය.
ලංකාවේ වමේ ව්‍යාපාරය ආරමුභ වූයේ 1935 දී ලංකා සමසමාජ පක්ෂය බිහිකර ගැනීමෙනි ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමවිසින් සනිටුහන් කල ලංකාවේ වමේ ව්‍යාපාරය ආරම්භයෙ සිටම ඊට දායක වූවන්ගේ පංති පදනමේ සිට ඔවුන්ගේ මතවාදය, ප්‍රතිපත්ති හා ප්‍රායෝගික භාවිතාව තුළද සුළු ධනේශ්වර සංශෝධනවාදී ව්‍යාපාරයක් විය. පැරණි වමේ ව්‍යාපාරය එක් අතකින් විවිධ ගුරැකුළයන්ට බෙදෙමින් ආ අතර අනෙක් පැත්තෙන් අවස්ථා ගණනාවකදී නිර්ධන පංතිය කම්කරැ පංතිය පාවාදෙමින් කටයුතු කරණ ලදී. එහි බරපතලම අවස්ථාව වූයේ "1964 කම්කරැ පංතියේ ඉල්ලීම් 21" පාවාදීමය. මෙම තත්වය තුළ ජාතිකවත් ජාත්‍යන්තරවත් පෙළගැසෙමින් තිබූ දේශපාලනයේ විෂයමූළ මනෝමූල සාධකයන් විසින් ලංකාව තුළ නව වමක් සදහා ඉඩකඩ විවරකරන ලදී. ජවිපෙ බිහිවූයේ එම ඓතිහාසික අවස්ථාවන් සපුරාලනු පිණිසය. ජවිපෙ බිහිවීමට හේතුකාරක වූ ජාත්‍යන්තර හා ජාතික දේශපාලනයේ තත්වයන් මෙසේ කැටිකර දැක්විය හැක.

ජාත්‍යන්තර තලයේදී 1963 මතුවූ චීන සෝවියට් මතභේදය විශේෂ තැනක් ගනී. එතෙක් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රබල මිතුරන් දෙදෙනා ලෙස සිටිමින් ලොව පුරා විප්ලවවාදීන්ට ආශ්වාදයත් අධාරයත් ලබාදෙමින් සිටි මහජන චීනය හා සෝවියට් දේශය 60' දශකය ආරම්භයේදී මතවාදී හා බලගැටුමකට මුල පුරා 1963 දී එකිනෙකාට සතුරැ රාජ්‍යන් දෙකක් බවට පත්විය. මෙම චීන සෝවියට් මතභේදයත් සමග ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ චීන හා සෝවියට් කණ්ඩායම් ලෙස දෙකඩ වීමද සිදුවුණි. ලංකාවේද කොමියුනිස්ට් පක්ෂයද දෙකඩ විය. එස්. ඒ වීක්‍රමසිංහ හා පීටර් කෙනමන්ගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පක්ෂයේ සෝවියට් පිල කටයුතු කරද්දී ඉන් ඉවත් වූ ප්‍රේමලාල් කුමාරසිරි හා ෂන්මුගදාසන් විසින් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල ගොඩනගන ලදී. මෙම බෙදීමේදී ලොව පුරා සටන්කාමී රැඩිකල් තරැණ කොටස් විසින් වඩා සටන්කාමී බවක් පෙන්නුම් කල චීනයේ පැත්ත ගන්න ලදී. මේ කාළයේ සෝවියට් රැසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය සිසුවෙකු සිටි රෝහණ වි‍ජේවීර සහෝදරයාද චීනයට පක්ෂපාතීත්වය දැක්වූවෙක් විය. චීනය හා සෝවියට් දේශය එකිනෙකාගේ ප්‍රතිපත්ති පිළිබදව මතගැටුමක් ඇතිකර ගනිමින් තම තමන් සැබෑ මාක්ස්-ලෙනින්වාදීන් යැයි ප්‍රකාශ කිරීමට පටන් ගැන්ම නිසාත් බෙහෝ තරුණ විප්ලවවාදීන් මෙම මතවාදී සංවාදයට යොමුවූ නිසාත් ඔවුන්ට මාක්ස් ලෙනින් වාදය ගැඹුරින් හැදෑරීමට මෙම තත්වය විසින් බලකරන ලදී. එබැවින් මෙම ගැටුම දැවැන්ත මතවාදී ගවේෂනයක් සදහා යළි මාක්ස් ලෙනින්වාදය කියවීම සදහා මඟ විවර කළ අතර එය විසින් නව විප්ලවවාදී ව්‍යාපාර බිහිවීමට සැලකිය යුතු බලපෑමක්ද කරන ලදී.

එක් අතකින් චීන සොවියට් මතභේදය ලොවපුරා මතවාදී පිබිදීමක් ඇති කල අතර අනෙක් අතින් ඒ වන විට ආසියා අප්‍රිකා, ලතින් ඇමරිකා රටවල් රැසක විමුක්ති අරගල ඇවිලී ඒවා ජයග්‍රහන වෙත ගමන් කරමින් තිබීමද තරැණයන් හට ආශ්වාදය ලබාදෙන කරැණක් විය. අප්‍රිකාවේ කොංගෝව, ඇල්ජීරියාව, ඇංගෝලාව, මොසැම්බික්, ගිනිබිසව් ආදී රටවල් රැසක මෙන්ව ආසියාවේ වියට්නාමය ඇතුලු ඉන්දු චීනයේද, ලතින් ඇමරිකානු රටවල් වන නිකරගුවා, එල්සැල්වදෝර් වැනි රටවල විමුක්ති අරගලද ඉදිරියට ඇදෙමින් තිබිණි. 1959' කියුබානු විප්ලවයේ ජයග්‍රහනය විශේෂයෙන් ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවලට ආශ්වාදයක්, ජාත්‍යන්තරවාදී සහයෝගයක් ලබා දුන් අතර මේ සියලු සිදුවීම් ලොව පුරා තරැණ විප්ලවවාදීන්ට සැපයුවේ ආශ්වාදයක් හා ධෛර්යයකි. මෙම තත්වයන් නව වමේ ව්‍යාපාර බිහිකිරීමට දායක වූ අතර ජවිපෙ බිහිවීමටද ජාත්‍යන්තර දේශපාලනයේ මෙම කරැණු හේතු සාධක විය.

ජවිපෙ බිහිවීමට හේතු පාදක වූ ජාතික තලයේ තත්වයන් මීලග කොටසෙන් සාකච්ඡා කරමු!
පක්ෂයේ ඉතිහාසය - ජනතා විමුක්ති පෙරමුණ
(II කොටස) 

" පක්ෂ අරගලවලින් පක්ෂයට ශක්තිය හා ජීවය ලැබේ පක්ෂයක දුර්වල කම් දක්වන බලවත්ම සාක්ෂ්‍යය වන්නේ එහි ලිහී විසිරැණූ ස්වභාවය සහ පැහැදිලි සීමා සටහන් දුර්වල වීමයි. පක්ෂය ශුද්ධ කර ගැනීමෙන් එය වඩාත් ශක්තිමත් වේ"

(ලසාල් මාක්ස් වෙත යැවූ 1852 ජූනි 24 දින ලිපියෙන්-ලෙනින් තෝරාගත් කෘති 1 වෙළුම 112 පිටුව)

ජාතික වශයෙන් ගත් විට මෙම කාලය ලංකේය පසුගාමී ධනපති ක්‍රමය බරපතල අර්බුධයකට ලක්ව තිබූ වකවානුවක් විය. 1960 බලයට පත්වූ ශ්‍රී.ල.නි.ප ආණ්ඩුව 1964 වන විට විශාල අර්බුධයකට මුහුණ දුනි. ආර්ථික අර්බුධය උත්සන්න වූ නිසා අයවැය ලේඛනය සකස් කර ගැනීමට නොහැකිව මුදල් ඇමතිවරැ 4දෙනෙක් මාරු කරන තත්වයට ආණ්ඩුව පත්ව සිටියේය. ඒ අතර ඒ වන විට බෙදී තිබු වම ල.ස.ස.ප කො.ප හා ම.එ.පෙ එක්ව වාමාංෂික එක්සත් පෙරමුණ ගොඩනගන ලදී ඒ වන විට ලංකාවේ සියලු වෘත්තීය සමිති එක්ව සමස්ථ ලංකා වෘත්තීය සිමිති මධ්‍යස්ථානයද ගොඩනතා තිබුණි. ඔවුන් ඉල්ලීම් 21 ආණ්ඩුවට ඉදිරිපත් කල අතර පසුව වාමාංෂික එක්සත් පෙරමුණේ සිටි ලංකා සමසමාජ පක්ෂය ඉල්ලීම් 21 පාවා දෙමින් වාමාංෂික එක්සත් පෙරමුණ කඩා දමමින් ඇමතිකම් 3 හා උප ඇමතිකම් 2 සදහා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුව හා එක්විය. මෙය ලංකේය වමේ ව්‍යාපාරය තුළ සිදුවූ මහා පාවාදීමක් විය. එය වමේ ව්‍යාපාරය තුළ අර්බුධයක් නිර්මාණය කලේය. නිර්ධන පංතියේ වුවමනාවනාකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු වමේ ව්‍යාපාරය එසේ පංතිය පාවා දී ධනේශ්වර ආණ්ඩුවක කොටස්කරුවන් වන විට වම වෙනුවෙන් මතුවන්නේ හිස් තැනකි. 1964 සමසමාජ නායකයන් ශ්‍රී.ල.නි.ප යට යෑම නිසා ඒ මෙහොතේ සැබෑ විප්ලවකාරී වමක අවශ්‍යතාවය මතුවිය. වම දකුනට බඩගෑවිට වම සදහා වන වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුවීම අනිවාර්යක් වන අතර ජ.වි.පෙ බිහිවූයේ එකී වුවමනාම සැපරීම සදහාය. ලාංකීය දේශපාලනය තුළ පංතිය ස්වාධීනව සංවිධානය කරන නව විප්ලවකාරී වමක් සදහා වූ ඓතිහාසික අවශ්‍යතාවය පිරවීම සදහාය. ජවිපෙ පක්ෂයක් ලෙස විවිධ බාධක හා දුෂ්කරතා මැද මෙතරම් දුරක් පැමිණිමේ රහසද එයමය.


එදා 1964 පැරණි වමේ ව්‍යාපාරය නිර්ධන පංතිය පාවාදී එය අතහැර ධනේශ්වර ආණ්ඩුවක කොටස්කරුවන් වීමෙන් ඇති වූ හිඩැස පිරවීමට ජ.වි.පෙ බිහිවීම, ජ.වි.පෙ ධනපති ආණ්ඩුවක හිරකාරයෙක් වීම වීම ප්‍රතික්ෂේප කොට ජනතාව අතර ස්වාධිනව පංතිය සංවිධානය කිරීමේ මග ගත් විට ජවිපෙ ධනපති ආණ්ඩු හා එක් නොවීම හේතු කර ගෙන (2008 දී) ජවිපෙන් ඉවත් වූ දක්ෂිනාෂික අවස්ථාවාදීන් කිහිප දෙනෙක් ධනපති ආණ්ඩුවේ අන්තේවාසිකයින් විම සදහා පක්ෂයක් ඇටවීම ජවිපෙ බිහිවීම හා සමාන වන්නෙ නැත. එසේම නැවත (2011දී) ජනතා විමුක්ති පෙරමුණ තුළ කුමන්ත්‍රනකාරී කල්ලියක් ලෙස කටයුතු කොට එය හෙළිදරව්වූ විට ජවිපෙන් පලාගොස් අතිවාමාංෂික හැඩයේ සටන් පාඨ තෙපලමින් එහෙත් සැබවින් සියලු අන්තවාදීන් හා සුළු ධනේශ්වර පක්ෂ සමග අත්වැල් පටලා ගත් අවස්ථාවාදී කල්ලිය විසින් පක්ෂයක් ඇටවීම 1965 දී පක්ෂයක් බිහිකිරීම හා සමාන වන්නෙ නැත.

ලෝක වමේ දේශපාලන ඉතිහාසය පුරා වමේ පක්ෂ වලින් කණ්ඩායම් ඉවත්විම් ආකාර දෙකකින් තේරැම් ගත හැකිය. ඉන් එකක් වන්නේ වැරදි පක්ෂ වලින් නිවැරිදි පිරිස ඉවත් වී නව පක්ෂයක් නිර්මාණය කිරීමය. අනෙක් ආකාරය වන්නෙ නිවැරිදි පක්ෂ වලින් වැරදි පිරිස් ඉවත්ව පක්ෂ හෝ කල්ලි අටවා ගැනීමයි. මෙවැනි පක්ෂ වැඩිකල් නොපවතින අතර අවසානයේ ප්‍රතිගාමීත්නයේ අතකොළු බවට පත්වන බව ලෝක ඉතිහාසය උගන්වා ඇත. පක්ෂයකින් කිසියම් කණ්ඩායමක් ඉවත් වූ විට එම කණ්ඩායම හැසිරෙන ආකාරය, ඔවුන් සිය දේශපාලන විවේචන ඉදිරිපත් කරන ආකාරය අනුව එම කණ්ඩායමේ අරමුණ හා ක්‍රියාමාර්ග වැරදිද නිවැරිදිද යන්න තෝරාගත හැකිය. විවිධ පටු අරමුණු අනුව කටයුතු කොට පක්ෂ වලින් ඉවත්වන කුමන්ත්‍රනකාරී කල්ලි බොහෝවිට හැසිරෙන්නේ අදේශපාලනිකවය. ඔවුන් තමන් ඉවත්වූ දේශපාලන ව්‍යාපාරයට දේශපාලන විවේචන ඉදිරිපත් කරනුවා වෙනුවට එයට අපහස කරන්නේ මේ නිසාය. ජවිපෙන් මෑතක ඉවත් වූ කල්ලි දෙකම එලෙස අදේශපාලනිකව හා අපරිණත ලෙස හැසිරෙමින් තමන් කව්ද යන්න හෙළි කලත් 1965දී ජවිපෙ බිහිකිරීමට දායක වූ පිරිස කටයුතුකලේ ඉතා පරිණත ලෙසය, දේශපාලනිකවය. ජවිපෙ බිහිවීමේ ගමන් මග දෙස බැලීමෙන් මෙය වටහා ගත හැකිය.

ජාතික හා ජාත්‍යන්තරවත් ඇතිවූ විෂය මූලික සාධක වලට අනුව ජවිපෙ බිහිවන විටම විප්ලවකාරී විය යුතුය ඒ නිසා ජවිපෙ විප්ලවකාරී තරුණ ව්‍යාපාරයක් විය. ජවිපෙ ආරම්භයම අධිරාජ්‍යවාදයට, ධනවාදයට මෙන්ව අවස්ථාවාදයටද එරෙහිව එල්ල කළ බරපතල අභියෝගයක් විය. ඒ නිසාම ධනපති පංතිය මෙන්ම සුළු ධනේශ්වර අවස්ථාවාදීන්ද ජවිපෙ තම සතුරා ලෙස සලකන බව ජවිපෙ බිහිකල තරුණ පිරිස වටහාගෙන තිබුණි. ඒ නිසාම ජවිපෙ බිහිවූවේ අර්ධ රහසිගත තත්වයක් තුළ කම්කරැ පැල්පත් තුළ, ගොවි පැල්පත් තුළ ඉමහත් දූෂ්කරතා මැද විවිධ සාකච්ඡා පවත්වමිනි.

ජවිපෙ බිහිවීමේදී එය නිර්ධන පංතියේ විප්ලවකාරී පක්ෂය වූ නිසා එයට තම සාකච්ඡා හා සමුළු සදහා ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලා ලැබුණේ නැත. රජයේ ආරක්ෂක හමුදාවල ආරක්ෂාව ලබාගනිමින් ජවිපෙ කටයුතු කලේ නැත. මන්ද එවන් ආරක්ෂාව මැද ධනපති ආණ්ඩුවල ආශිර්වාදය සහය මත විප්ලවවාදී ව්‍යාපාර ගොඩනැගිය නොහැකි බැවිනි. එලෙස ගොඩනැගිය හැක්කේ ධනපති පංතියේ වුවනමාකම් ඉටුකරන සුළු ධනේශ්වර සංවිධාන පමණි. එසේම ජවිපෙ බිහිවන විටම රාජ්‍ය නොවන සංවිධාන සමග සැකකටයුතු විදේශ රටවල් හා සංවිධාන සමග පෙළගැසුනේ නැත. විවිධ අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් සමග පෙළ ගැසුනේ නැත. විවිධ අවස්ථාවාදී කණ්ඩායම් සමඟ රංචු ගැසුනේ නැත. ඔවුන්ගෙන් මුදල් ලබා ගත්තේ නැත. ඒ වෙනුවට ඉතාම දුෂ්කරතා මධ්‍යයේ නව ව්‍යාපාරය ගොඩනැගීමට වෙහෙස වී කටයුතු කලේය. ඒ නිසාම ජවිපෙ ආරම්භක ගමන් මග අතිශය දුෂ්කර විය. ජවිපෙ සංවිධාන ප්‍රතිපත්ති, සංවිධාන ව්‍යුහයන්, සංවිධාන විනය ආදී සියල්ලද නිර්මාණය වී පෝෂනය වූයේ ජවිපෙ ගමන් කළ එකී දුෂ්කර ගමන් මඟ තුළය.

" මිනිස්සු ස්වකීය ඉතිහාසය නිර්මාණය කරති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුනට රිසි පරිදි නොවේ, ඔවුන් විසින් තෝරාගත් තත්වයන් යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින, ඔවුනට ලැබී ඇති සහ ඉතිහාසයෙන් සංක්‍රමනය වූ තත්වයන් යටතේය. ඔවුන් එය නිර්මාණය කරන්නේය"

- කාල් මාක්ස් (මාක්ස් එංගලස් තෝරාගත් කෘති 1 වෙළුම 128 පිටුව)

ඉතිහාසය ගොඩනැගීම පිලිබදව මාක්ස් පැවසූ මෙම සත්‍ය පක්ෂයක ඉතිහාසය සම්බන්ධයෙන්ද එලෙසම වලංගුය. මින් අදහස් කෙරෙන්නේ පක්ෂයක් ගොඩනැගීමේදී පුද්ගලයන්ගෙ නායකයන්ගේ සවිඤ්ඤානික කාර්යභාරය හා වගකීම අවතක්සේරැ කිරීම නොව පුද්ගල කැමැත්තට පමණක් පක්ෂයක් ගොඩනැගිය නොහැකි බවයි. 1965 දී නව වමක් නිරිමාණය කිරීමේ අක්මීමණ සාකච්ඡාවට සහභාගීවූ 7 දෙනා ජවිපෙ නිර්මාණය වීමට ආරම්භයේ දායක වූවත් මොවුන්ගේ කැමැත්තට අනුව පමණක් ජවිපෙ ගමන් මග තීරණ්‍ය වූයේ නැත. එය තීරණය වූයේ පුද්ගල අරමුණු මෙන්ම ඊට පිටින් ක්‍රියාත්මක වූ විෂයමූල සාධකයන්ගේ හා වෙනත් බලවේගවල ක්‍රියාකාරීත්වයේද අන්තර් සම්බන්ධයක් සහිතවය.

ජවිපෙ ගොඩනැගීම උදෙසා රෝහණ විජේවීරයන්ගේ දායකත්වය මීලග කොටසෙන් සාකාච්ඡා කරමු!
 
පක්ෂයේ ඉතිහාසය - ජනතා විමුක්ති පෙරමුණ
(III කොටස)
 
" පක්ෂ අරගලවලින් පක්ෂයට ශක්තිය හා ජීවය ලැබේ පක්ෂයක දුර්වල කම් දක්වන බලවත්ම සාක්ෂ්‍යය වන්නේ එහි ලිහී විසිරැණූ ස්වභාවය සහ පැහැදිලි සීමා සටහන් දුර්වල වීමයි. පක්ෂය ශුද්ධ කර ගැනීමෙන් එය වඩාත් ශක්තිමත් වේ"

(ලසාල් මාක්ස් වෙත යැවූ 1852 ජූනි 24 දින ලිපියෙන්-ලෙනින් තෝරාගත් කෘති 1 වෙළුම 112 පිටුව)

දේශපාලන ව්‍යාපාරයක් යනු තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොවේ. මාක්ස්වාදය ඉතිහාසය තුළ හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩනැගීමේදී විශේෂ පුද්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුද්ගලයන්ද ඉතිහාසයේ අවශ්‍යතායවන්ගේ නිර්මාණයන්ම වන නිසාය. ජවිපෙ බිහිවීම ගැන කතා කරන විටද ඊට මූලිකත්වය ගත් ඊට මතවාදී න්‍යායික හා සංවිධානමය මග පෙන්වීම කළ හා ඒ වෙනුවෙන් සිය මුළු ජීවිතයම කැපකළ රෝහණ විජේවීර සහෝදරයා පිළිබදව සදහන් නොකර සිටිය නොහැක.

රෝහණ විජේවීර සහෝදරයා 1943 ජූලි 14 වන දින තංගල්ලේ දිලිදු පවුලක උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම "පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර" විය. රෝහණ සහෝදරයාගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් විය. තංගල්ලේ ඉපදුනද කුඩා කලම පදිංචිය සදහා මාතර කෝට්ටේගොඩට පැමිණි නිසා රෝහණ සහෝදරයාගේ මුල් පාසැල වූයේ කෝට්ටේගොඩ ගොඩඋඩ විදුහලයි. ඉන්පසු 1959 දී අම්බලංගොඩ ධර්මාශෝක විදුහලට ඇතුළත් විය. පියා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරකයෙකු වීමත් මාතර කො.ප නායකයින් ඇසුරත් නිසා විජේවීර සහෝදරයා කුඩා අවිධියේ සිට කොමියුනිස්ට්වාදී අදහස් දරන්නෙකු විය. පාසැල් වියේදිම කොමියුනිස්ට් ප්‍රකාශනය කියවා තිබූ ඔහු ලියූ "ෂා ඕචිගේ" හොද කොමියුනිස්ට්වාදියෙක් වන්නේ කෙසේද යන කෘතියද කියවා තිබිණි.


1960 සැප්තැම්බර් 25 වෙනිදා වෛද්‍ය උපාධිය සදහා ශිෂ්‍යත්වයක් ලැබ ඔහු සෝවියට් දේශයේ මොස්කව් ජාත්‍යන්තර මිත්‍රත්ව සරසවියට (පසුව එය ලුමුම්බා මිත්‍රත්ව සරසවිය ලෙස නම් විය) ඇතුළත් විය. එහිදී වෛද්‍ය විද්‍යාවට අමතරව සෝවියට් කොමියුනිස්ට් පක්ෂ පාසලෙන් දේශපාලන විද්‍යාව, ඓතිහාසික භෞතිකවාදය වැනි විෂයන්ද උගත් අතර වේගයෙන් දේශපාලනයට ඇදී ගියේය. 1961 විශ්ව විද්‍යාල නිවාඩු කාලවල සෝවියට් මොල්දාවියාවේ හා ජෝර්ජියාවේ සංචාරය කලේය. ඔහු මොල්දාවියාවේ ගොවියන් අමතා කතාවක්ද කර ඇත. රෝහණ විජේවීර සහෝදරය 1961 දීප්තිමත්ම ශිෂ්‍යාට හිමි රන් පදක්ම දිනාගත් අතර ලංකාවෙන් ගිය ශිෂ්‍ය කණ්ඩායමේ ලාබාලම ශිෂ්‍යා වීමද විශේෂයකි.

සෝවියට් දේශය තුල සමාජවාදය න්‍යායිකව ඉගෙන ගැනීමත් එය දෑසින් දැකිමත් නිසා ඒ ගැන ඔහුට විශාල උනන්දුවක් තිබුනද ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකාව තුළ කටයුතු කරන ආකාරය පිළිබදව කලකිරීමට පත්වෙමින් සිටියේය. 1963 දී චීන සෝවියට් මතභේදය කරළියට ආ විට රෝහණ සහෝදරයා වඩාත් රැඩිකල් පෙන්වූ චීනයේ පැත්තගෙන සෝවියට් දේශය තුළදීම චීනය වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කලේය. චීන සෝවියට් මතභේදයට අනුව ලොව සියළු පක්ෂ දෙකඩ විය. ලංකාවේද කො.ප. ය දෙකඩ විය. එහිදී චීන පිල ලෙස ප්‍රේමලාල් කුමාරසිරි හා ෂන්මුගදාසන් ඇතුළු පිරිසක් වෙන්වූ විට රෝහණ සහෝදරයා ඊට සුභ පැතුම් කලේය.

මේ අතර බරපතල ලෙස නිදිවැරීම හා වෙහෙස වීම නිසා අසනීප වූ ඔහු නිවාඩුවකට 1964දී ලංකාවට පැමිණියේය. එහිදීද කො.ප චීන පිලේ අය හමුවිය. නිවාඩුව අවසන් වී යළි සෝවියට් දේශයට යාමට වීසා ලබාගැනීමට ගිය විට තානාපති කාර්යාලය විසා ලබා දීම ප්‍රතික්ෂේප කළේ.ය ඒ කො.ප මොස්කව් පිලේ මැදිහත්වීම නිසාය. නැවත වීසා ලබාගැනීම සදහා මොස්කව් පිලට සම්බන්ධ විය යුතුය. මෙය රෝහණ සහෝදරයාගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. තමා විශ්වාශ කරන ප්‍රතිපත්ති පාවා දී වෛද්‍ය උපාධිය වෙනුවෙන් සෝවියට් දේශයට යනවාද? නැතිනම් වෛද්‍ය උපාධිය පසෙක දමා ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවාද? යන ප්‍රශ්නය මතුවූ විට රෝහණ සහෝදරයා ප්‍රතිපත්ති වෙනුවෙන් උපාධිය අතහැර දැමීමට තීරණය කලේය. දේශපාලනය වෙනුවෙන් පළමු කැපකිරීම කරන ලද්දේ එසේය.

ඉන්පසු චීන පිලට සම්බන්ධව කටයුතු කළ ඔහු චීන පිලේ තරුණයන් අතර ජනප්‍රියත්වයට පත්විය. 1964 - 65 කාලයේ ඉන්දුනිසියානු කොමියුනිස්ට් පක්ෂයේ හා ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් චීන පිල හමුවීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කලේ විජෙවීර සහෝදරයාය. මේ අතර චීන පිලේ තරුණ සංවිධාන ප්‍රතිසංවිධාන කිරීමේ කමිටුවේ ලේකම් ධූරයටද රෝහණ සහෝදරයා පත්කරන ලදී. චීන පිල කො.ප යෙන් ඉවත්ව සිටියද භාවිතය තුල එයද සම්ප්‍රධායික විය. මේ නිසා චීන පිලේ දුබලතා පිළිබදව රෝහණ සහෝදරයාට වැටහීමට පටන් ගත් අතර මේ කාලයේම ප්‍රේමලාල් කුමාරසිරි චීන පිලෙන් ඉවත් වීමත් ෂන්මුගදාසන් එහි ප්‍රධානියා වීමත් සමග පක්ෂයේ තත්වය තවත් බරපතල විය. චීන පිල නිවැරිදි කරගත යුතුයැයි රෝහණ සහෝදරයා කල්පනා කලේ මේ තත්වය තුළය. චීන පිල තුළින්ම හඳුනාගත් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක් කිරීමට ඔහු තීරණය කලේ මේ පසුබිම තුළය. 1965 මැයි මස 14 පැවැත්වූයේ එම සාකච්ඡාවයි.

(මතු සම්බන්දයි)
 

No comments:

Post a Comment