Sunday 28 April 2013

මැයි දින සමරුවට වසර 127 යි ඇමෙරිකාවෙන් ඇරැඹි මැයි දින සමරුමේ අතීතය

ලෝක කම්කරු දිනය වශයෙන් සැලකෙන්නේ මැයි 01 වැනිදාය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල මැයි දිනය නිවාඩු දී ඇත්තේ කම්කරු අයිතිවාසිකම්වලට ගරු කිරීමක් වශයෙනි. ලෝක කම්කරු ජනතාව දැඩි සහෝදරත්වයෙන් එකට එතී වෙලී සමරන මැයි දිනය දියුණු බුද්ධිමත් යුගයක් සමරන මිනිසාගේ බුද්ධියෙන් පෝෂණය වූ දිනයක් ලෙස සැලකිය හැකිය
.


PHOTO: ඔගස්ටස්, ඇල්බට් , ඇඩොල්ෆ්, ජොර්ජ්, සැමුවෙල්, ලුයිස්, මයිකල්


 එක් පුද්ගලයකු හෝ පුද්ගලයන් කීපදෙනෙකු මත සම්පත් එක්වෙමින් ගොඩනැඟුණු ධනවාදී ආර්ථික ක්‍රමයට එරෙහිව ගොඩනැඟුණු කම්කරුවන්ගේ අරගලයන් තුළින් බිහිවුණු කම්කරු දිනය ලෙයින් කඳුළින් ගොඩනැඟුණක් බව කම්කරු ඉතිහාසය දෙස බලන විට පෙනී යයි.

කම්කරුවන් හා ගොවීන් ඈත අතීතයේ සිටම ධනේශ්වර පන්තියට සේවය කළේ වහලුන් ලෙසය. කම්කරුවන් ලොවට හඳුන්වා දෙන්නට පෙර ප්‍රවේණි වහලුන් ධනවත් ගොවිබිම් හිමිකරුවන්ගේ සේවකයන් වූයේ වැටුප් නොලබාය. විශේෂයෙන් අප්‍රිකාවෙන් ගෙනෙන ලද කළු මිනිසුන් යොදාගෙන ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ගොවිපළ හිමිකරුවෝ සිය ගොවිපළවල සේවා ඉටුකරගත්තේ මෙලෙසය.

එහෙත් සංස්කෘතික දියුණුව හා තාක්ෂණික දියුණුව ද ලැබු පසු වහල් යුගය අවසන් වී වහලුන් වෙනුවට වැටුප් ලබන කම්කරුවන් සේවයේ යොදාගන්නට කම්හල් හිමියන්ට සිදුවිය. ප්‍රවේණි දාස ක්‍රමය වෙනුවට කම්කරුවන් සේවයේ යොදවා ගත්තත් ඔවුන්ට කළ ගෙවීම් ඉතා අල්ප විය. කම්හල් හිමියන් කම්කරුවන් ද අර්ධ වහලුන් ලෙස සේවයේ යොදවා ගත්තේ සොච්චම් වැටුපක් ඔවුන්ට දෙමිනි. එමෙන්ම කම්කරුවන්ගේ සේවය කිරීමේ නිශ්චිත කාලසීමාවන් ද නොවීය. දිනකට පැය 12 - 16 වශයෙන් ඔවුන් වැඩ කළ යුතු විය.

17 වැනි හා 18 වැනි සියවසේ කම්කරුවකුගේ සේවා කාලය දිනකට පැය 12 ඉක්මවීය. එමෙන්ම කුරිරු වධ හිංසා හා අඩම්තේට්ටම්වලට ලක්වීමට ද ඔවුන්ට සිදුවිය. දැඩි වෙහෙසකාරි බව නිසා කම්කරුවෝ නොයෙකුත් ආබාධයන්ට හා රෝගවලට භාජන වූහ. සමහරු මියගිය අතර තවත් සමහරු ආබාධිතයන් වූහ.

ඇමෙරිකාවේ කම්කරුවෝ සිය දෛනික සේවා කාලය පැය දහයක් හා ආහාර විවේකය සඳහා පැය දෙකක් ලබා දෙන ලෙස සිය හාම්පුතුන් ගෙන් ඉල්ලා සිටියහ. ඒ 1830 පමණ කාලයේදීය. එහෙත් මිනිසුන් තලා පෙලා වැඩ ගැනීමට පුරුදුව සිටි කම්හල් හිමියන් තමන්ට කම්කරු ශ්‍රමයේ ඩාදිය බිඳුවක අගය තක්සේරු කළේ තමන්ට වියදම් කළ යුතුව තිබු වැටුප අනුවය. ඒ අනුව ඉතාම මානුෂික ඉල්ලීමක් වූ මේ ඉල්ලීම ඔවුන් ඉවත දැමුවේ කම්කරුවන්ට තාඩන පීඩන එල්ල කරමිනි. එවැනි ඉල්ලීම් කළ කම්කරු නායකයන්ට නොයෙකුත් වධ බන්ධනවලට ලක්වීමට සිදුවූයේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට රජය හෝ නීතියේ ආධිපත්‍යයන් නොවූ බැවිනි.

පැය අටේ ඉල්ලීම
හාම්පුතුන් ගේ තාඩන පීඩනවලට ලක්වූ ඇමෙරිකාවේ කම්කරුවෝ 1863 දී ප්‍රථම වරට කම්කරු සම්මේලනයක් මඟින් එකතු වී දිනක වැඩ කරන කාල පරාසය පැය 8 කට සීමා කරන ලෙස සිය කම්හල් හිමියන් ගෙන් ඉල්ලා සිටියහ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු සම්මේලනය සමඟ සාකච්ඡා කිරීමට හාම්පුතුන් එකඟ වුවත් ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට කම්හල් හිමියන් අකමැති වූයේ පුරුදු පරිදි කම්කරුවන් මර්ධනය කරගෙන ගෙන ගිය ආධිපත්‍යය අහිමි වීමේ බිය නිසාය.

සාකච්ඡා වට කීපයක් පැවැත්වූව ද සිය ඉල්ලීම් ඉටුකර ගත නොහැකි වූ කම්කරුවන්ගේ ඊළඟ පියවර වූයේ “නයිට්ස් ඔෆ් චිකාගෝ” නම් කම්කරු සංවිධානය පිහිටුවා ගැනීමයි.

1878 දී ඒ සංවිධානය විසින් යළිත් වරක් වැඩ කිරීමේ කාලසීමාව පැය 8 කට සීමාකර ගැනීමේ යෝජනාව කම්කරු හිමියන්ට දන්වා සිටියහ. එහෙත් ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි විය. ඊළඟට සාකච්ඡාවලින් සිය ඉල්ලීම් දිනාගත නොහැකි බව කම්කරුවන්ට තේරුම් ගියේ ඉල්ලීම ඉදිරිපත් කරමින් ඉදිරියට එන කම්කරුවන්ට තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවූ නිසාය.

මේ නිසා යම්කිසි සටන් මාර්ගයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව ප්‍රථම වරට ලෝකයේ කම්කරුවන් ඉදිරියේ දැනෙන්නට විය. සටන්කාමී නිර්භීත කම්කරු නායකයන් කීප දෙනෙකු වටා එක්රොක් වූ කම්කරුවෝ සිය ඉල්ලීම් දිනාගන්නට තර්ජනාත්මක සටන් මාර්ගය තෝරා ගත්හ.

ඒ නිසා මේ නයිට්ස් ඔෆ් චිකාගෝ සංවිධානයට කම්කරුවන් 150000 ක් පමණ එක්වී විශාල සංවිධානයක් බවට පත්වී තිබුණේ නොදැනුවත්මය.

1886 මහා වැඩ වර්ජනය
චිකාගෝ නුවරට රැස්වූ කම්කරු පිරිස ලක්ෂ එකහමාරක් පමණ වූහ. චිකාගෝ නගරයම එකම හිස් ගොඩක් සේ පෙනිණ. නගරයේ සියලුම කම්හල්වල සේවකයෝ එකට එක්වී 1886 දී කළ මහා වැඩ වර්ජනය කර්මාන්ත හිමියන්ට එරෙහිව එල්ල කළ පළමුවන වෙඩි මුරය විය.

එහිදී කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට රැස්වූ පිරිස එන්න එන්නම වැඩි විය. කෙසේ හෝ කම්කරුවන්ගේ එක්සත් බව හමුවේ පැය 8 ඉල්ලීම නොදී සිටීමට කම්කරු හිමියන්ට නොහැකි විය. මෙසේ 1886 වැඩ වර්ජනය කොට ඉල්ලීම් දිනාගත් දිනය කම්කරුවන්ගේ ජයග්‍රාහී දිනය වශයෙන් යොදා ගැනිණ. එහෙත් ඇතැම් කම්හල් හිමියන් මේ ඉල්ලීම ලබා දුන්නේ කැමැත්තෙන් නොවේ. මේ වැඩ වර්ජනයේ ජයග්‍රහණය නිසා උද්දාම වූ කම්කරුවෝ වඩ වඩාත් උද්‍යෝගයෙන් කම්කරු සංවිධානය වටා එක්රැස් වූහ.

එහෙත් ඇතැම් කම්හල් හිමියෝ මේ තීරණයට විරෝධය පාමින් වැඩ වර්ජනය කළ කම්කරුවන්ට නොයෙක් තාඩන පීඩන එල්ල කළහ. කම්කරුවන් වැඩ වර්ජනය කළහොත් රැකියාවෙන් නෙරපන බවට තර්ජනය කළ සමහර කම්හල් හිමියෝ කම්කරුවන්ගේ විරෝධයට පාත්‍ර වූහ.

මේ නිසා මැයි 1 දා චිකාගෝ නුවර “හේ මාර්කට්” ප්‍රදේශයට රැස්වූ කම්කරුවෝ පැය 8 වැඩ මුරය නීතිගත කරන තුරු සටන් කරන්නට තීරණය කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

මැයි 1 වැනිදා රැස්වූ පිරිස ඇමතු සැමුවෙල් ෆිල්ඩන් නම් කම්කරු නායකයා වේගවත් කතාවක් කරමින් මැයි 1 දින ඓතිහාසික දිනයක් යැයි කීය. මැයි 2 දා වන විට පිරිස එන්න එන්නම වැඩිවන්නට විය. මැයි 3 වැනිදා 65000 ක් පමණ වූ පිරිසක් හමුවේ ඔගස්ට් ස්පයිස් නම් වූ කම්කරු නායකයා වේගවත් කතාවක් කරමින් සිටියේය.

පොලිස් ප්‍රහාරයක්
හදිසියේ ම එතැනට කඩා වැදුණු කම්හල් නිලධාරීන් ගේ අණ ලැබු පොලිස් නිලධාරීහු පිරිසක් කම්කරුවන්ට පහර දෙන්නට පටන් ගත්හ. කම්කරුවන් හිස්ලුලූ අත දිව යන්නට වූයෙන් දිව යන අයට පොලීසිය වෙඩි තැබීය. දිව යන කම්කරුවන්ගේ ශරීර ලෙයින් තෙත් විය. මාර්ගය ද ලෙයින් වැසී ගියේය. සිය ගණන් කම්කරුවෝ ලේ පෙරාගෙන ඇද වැටුණහ.

පොලීසිය ජයග්‍රාහීව එතැනින් ඉවත්ව ගියත් වෙඩි වැදුණු කම්කරුවෝ හතර දෙනෙක් මිය ගොස් සිටියහ.

සටන අවසන් වූයේ නැත. කම්කරුවන් හා කම්හල් හිමියන් අතර සටන ආරම්භ වූයේ එතැන් සිටය. මේ මිනීමැරුම්වලින් ඇවිස්සුණු කම්කරුවෝ ඊට විරෝධතාව දැක්වීමට මැය 4 වැනිදා හේ මාර්කට් චතුරස්‍රයට රැස්වීමට සියල්ලන්ටම දැනුම් දුන්හ.

ඒ අනුව පසුවදා කම්කරුවෝ බුරුතු පිටින් හේ මාර්කට් චතුරස්‍රයට රැස් වූහ. මෙය ව්‍යාපාරිකයන්ගේ ඇස්වල කටු අනින්නාක් මෙන් විය. ඔවුන් විසින් අවුස්සන ලද හා අල්ලස් වලින් සප්පායම් ලද පොලීසිය කම්කරුවන් ඒකරාශී වීම වැළැක්වීමට නොයෙක් උපක්‍රම යෙදීය. කම්කරුවන්ට ප්‍රහාර එල්ල විය. එහෙත් පොලිස් බාධක මධ්‍යයේ හේ මාර්කට් චතුරස්‍රයට දස දහස් ගණන් පිරිස් එක්රොක් වූහ.

මෙහිදී පොලිස් පහරදීම්වලට එරෙහි වූ චිකාගෝ නගරාධිපති හැරිසන් මහතා ද එහි රැඳී සිටියේය. නගරාධිපති වරයා එහි සිටින තුරු පොලීසිය නිහඬව සිටියේය. රැලිය සාමකාමී ලෙස පැවැත්වෙමින් තිබිණ. නගරාධිපතිවරයා එතැනින් ඉවත් වත්ම එතැනට ආ පොලිස් පිරිසක් වහාම එතැනට ආවේ කම්කරුවන්ට රැස්වීම නවත්වන ලෙස අණ කරමිනි.

විරෝධතාව තව සුළු වේලාවකින් අවසන් වන බව කීවත් පොලීසිය ඉවත් වූයේ නැත. නායකයන් සමඟ පොලීසිය සාකච්ඡා කරමින් සිටියදී එක්වරම පොලීසිය දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

පොලීසිය මාරාවේශයෙන් කම්කරුවන්ට දිගට හරට වෙඩි තබන්නට පටන්ගත්තේ එවිටය. කම්කරුවෝ ද ගල්-මුල් හා අතට හසුවන දෙසින් පොලීසියට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.

මේ ප්‍රහාරයෙන් පොලිස් භටයෙකු එතැනම මියගිය අතර තවත් හය දෙනෙක් පසුව මිය ගියහ. මියගිය කම්කරුවන්ගේ ගණන සිය ගණනක් විය.

කම්කරු මර්ධනයට හොඳ අවස්ථාවක් ලද කම්හල් හිමියෝ පොලීසිය ලවා තව තවත් කම්කරුවන්ට ප්‍රහාර එල්ල කරවූහ.

ඒ “හේ මාර්කට්” චතුරස්‍රය එදා 1886 මැයි 4 දා එකම ලේ විලක් බවට පත්වී තිබිණ. අරගලයට සම්බන්ධ වූ කම්කරු නායකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ කම්හල් හිමියන්ගේ ඉල්ලීම පරිදිය.

ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සින්ස්, ඇඩොල්ෆ් ෆිෂර්, ජොර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆිල්ඩන්, ලුයිස් ලින්ග්, මයිකල් ස්ට්වැට්, ඔස්කා නිබේ යන කම්කරු නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ට එරෙහිව පොලීසියට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත නඩු පවරන ලදී. මෙහිදී විත්තිකරුවන්ට ඔවුන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ද ලැබුණේ නැත. සැමුවෙල් ෆීල්ඩන් හා මයිකට් ස්ට්ටැච්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමකි. මේ හැර අනික් සියලු දෙනාම එල්ලා මැරීමට නියම විය. ලුයිස් ලින්ග් එල්ලා මැරීමට පෙර බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය අතර අනෙක් සිව් දෙනා වූ ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆිෂර් හා ජෝර්ජ් එන්ගල්ස් හතර දෙනා 1887 නොවැම්බර් 11 දින එල්ලා මරන ලදී.

මෙය ලෝක කම්කරු ඉතිහාසය ඉතා ඛේදනීය සිද්ධියක් විය.

අනතුරුව 1889 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රැස්වීමේ දී පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටිය ද පොලිස් වෙඩි පහරින් මියගිය කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරකම මැයි 1 දා ලෝක කම්කරු දිනය ලෙස සැමරිය යුතු යැයි තීරණය විය.

මේ අනුව 1890 ඇමෙරිකාවේ, චිලී රටේ හා කියුබාවේත් අතිවිශාල කම්කරු පිරිසකගේ සහභාගිත්වයෙන් මුල්ම කම්කරු දිනය සමරන ලදි. 1893 ජුනි 26 වැනිදා ඇල්වගේට් ආණ්ඩුකාරයාගේ නියමයෙන් එතෙක් සිරගතව සිටි සැමුවෙල් ෆිල්ඩන්, මයිකල් ස්ටවැට්, ඔස්කා නිබේ නිදහස් කරන ලදි. එල්ලා මැරු අය හා බෝම්බයක් පුපුරුවාගෙන මියගිය ලින්ග් ද නිවැරැදි කරුවන් ලෙස ද ප්‍රකාශයට පත් කළේය.

මෙසේ කම්කරුවන්ගේ ලෙයින් කඳුළින් උපන් මැයි දිනය අද වන විට ජාති ආගම් කුලමල භේද රහිතව ලොව පුරා කම්කරුවන් විසින් සමරනු ලැබේ.

දිනකට පැය 12 ක් 16 ක් වැඩ කළ කම්කරුවන් පැය 8 සේවා මුරයෙන් සතුටට පත්වූ අතර තම අයිතිවාසිකම් උදෙසා කම්කරු සංගම් පිහිටුවා ගැනීමට ද වරම් ලද්දේ මේ සිද්ධියෙන් පසුවය.

කම්කරුවන්ගේ ශ්‍රමාභිමානයට නියම අරුතක් සැලසුණේ එයින් පසුවය. මුලින්ම කියුබාව, මහජන චීනය, උතුරු කොරියාව ඇතුළු කොමියුනිස්ට් වාදි රටවල් මැයි දිනය සැමරීමට උර දුන්නේය. 1909 බුවනොර්ස් අයර්ස්හි මැයි පෙළපාළියට වෙඩි තැබීමෙන් 9 දෙනෙක් මිය ගියහ.

ශ්‍රී ලංකාවේ මුලින්ම මැයි දිනය සැමරුවේ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ 1933 වසරේදීය. එය පක්ෂ පාටවලින් තොර ස්වාධීන කම්කරු උත්සවයක් විය.

ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාළි දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් අරඹන ලද්දේ 1935 දී ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙනි.

ඉන්පසු ශ්‍රී ලංකාවේ ද විශාල කම්කරු පිරිසක් මැයි දිනය සමරන්නට පටන් ගත්තේ විවිධ දේශපාලන පක්ෂවල හා දේශපාලන නායකයන්ගේ මෙහෙයවීමෙනි.

එහෙත් එදා 1886 දී පැය 8 වැඩ මුරය ඉල්ලා කළ සටන ශ්‍රී ලංකාවේදී සාර්ථක වූයේ 1956 වර්ෂයේදීය. ඒ බණ්ඩාරනායක පාලන සමයේදීය. එහිදී උඩකැන්දවෙල සිරිසරණංකර හිමි, එන්. එම්. පෙරේරා, එම්. පී. මෙන්ඩිස්, කොල්වින් ආර්. ද සිල්වා, එල්. ඩබ්ලියු පණ්ඩිත, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන ආදි වාමාංශික නායකයන්ගේ අරගල හා බලපෑම්වල ප්‍රතිඵල වශයෙනි.

1933 දී මැයි දින උත්සවය පළමු වරට සැමරුවත් එය උත්කර්ෂවත් රැලියක් බවට පත්වූයේ 1934 දීය. මෙවර අපි සමරන්නේ 125 වැනි මැයි දින සමරුවයි. ශ්‍රී ලංකාවේ 80 වැනි මැයි දින සමරුවයි.



ලංකාවේ ජවිපෙ සමරන රතු මැයි රැලියෙන් ගන්නා ලද චායාරැප පහතින් දැක්වේ 


No comments:

Post a Comment