Monday 30 July 2012

නව මානයකින් ලෝකය අර්ථකථනය කළ, අභියෝගයට ලක් කළ නොහැකි දර්ශනය "මාක්ස්වාදය"

ජර්මනියේ රයින්ලන්තයේදී 1818 දී නීතිඥයකු වූ යුදෙව් ජාතික පියෙකුට හා ජර්මන් ජාතික මවකට දාව කාල්මාක්‌ස්‌ උපත ලැබීය. බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීති විද්‍යාව, දර්ශනය හා ඉතිහාසය හැදෑරීය. 1842 දී ක්‌ලෝන්වල (Clogne) පුවත්පතක (Rheinishe Zeitung) කර්තෘ මණ්‌ඩලයට බැඳුණි.

එහෙත් 1843 දී ප්‍රසියා රජය එම පුවත්පත මර්දනය කළ අතර ඉන්පසු කාල්මාක්‌ස්‌ ප්‍රංශයට පැමිණියේය. එහිදී ඔහුට සමාජවාදී චින්තකයකු වන ප්‍රොදැන් (Prond hon) රුසියානු අරාජිකවාදියකු වූ බකුනින් (Bakunin) සහ ප්‍රෙඩ්රිග් ඒංගල් (Fredrich Engle) මුණ ගැසිණි. 1845 දී ඔහු ප්‍රංශයෙන්ද ප්‍රසියානු ආණ්‌ඩුවේ මැදිහත්වීම මත නෙරපා හරින ලද අතර ඉන්පසු බ්‍රසල්ස්‌වලට පැමිණි මාක්‌ස්‌ ඒංගල්ස්‌ගේ සහාය ඇතිව 1848 දී "කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය" ප්‍රකාශයට පත් කළේය. 1849 දී බ්‍රසල්ස්‌ වලින් ද මාක්‌ස්‌ නෙරපා හැරි අතර ඉන්පසු ලන්ඩනයට පැමිණි ඔහු 1883 මියයන තෙක්‌ම ලන්ඩනයේ ජීවත් විය.

කාල්මාක්‌ස්‌ගේ විෂය පථය නිශ්චිත එක්‌ විෂයක්‌ කරා සීමා වූ එකක්‌ නොවීය. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, නීතිය, සමාජ විද්‍යාව ආදී බොහෝ විෂය ක්‍ෂේත්‍ර ඔස්‌සේ ඔහුගේ අදහස්‌ පැතිර යන්නට විය. "ලෝකයේ බිහිවූ දාර්ශනිකයන් බොහෝ විට කළේ පවතින තත්ත්වය අර්ථකථනය කිරීමයි. එහෙත් අපගේ අරමුණු පවතින ලෝකය වෙනස්‌ කිරීමයි."

කාල්මාක්‌ස්‌ කර ඇති මේ ප්‍රකාශය තුළින් ඔහුගේ දර්ශනය තුළ ඇති නැවුම් හඳුනා ගත හැක. සම්ප්‍රදායික තත්ත්වයෙන් ඔබ්බට ගොස්‌ නව ආරකට ලෝකය අර්ථකථනය කිරීම මාක්‌ස්‌ විසින් සිදු කර ඇත. ඔහුගේ සමාජ දර්ශනය ස්‌වයංජාත එකක්‌ නොවීය. එවකට සමාජ, ආර්ථික, දේශපාලනික ක්‍රියාකාරිත්වය තුළ සිදුවූ වෙනස්‌කම් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ කරන ලද අධ්‍යයනය තුළින් මාක්‌ස්‌ තම දර්ශනය ඉදිරිපත් කරන ලදී.

ඔහුගේ යුගයේදී ලෝකය තුළ ධනවාදය උග්‍රව පැතිර ගොස්‌ තිබිණි. ධනවාදයේ අතුරුඵල ලෙස බිහි වූ සමාජ ගැටුම් සමාජය වෙලා ගෙන තිබිණි. විශේෂයෙන්ම ධනපතියන් විසින් කම්කරුවන් උග්‍ර ලෙස සූරාකෑම හේතු කර ගෙන ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබිණි. ඔවුන්ගේ ජීවන ක්‍රමය අතිශය වේදනාකාරී හා කර්කශ එකක්‌ විය. මේ තත්ත්වය දෙස බැලූ ඇතැම් දාර්ශනිකයන් මේ ක්‍රමය තුළ යම් අසාධාරණයක්‌ ඇති බවත් මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ පෞද්ගලික දේපළ ක්‍රමය නිසාවෙන් බවත්, එබැවින් පොදු දේපළ ක්‍රමයක අවශ්‍යතාව පිළිබඳ මත දක්‌වන්නට විය. එහෙත් එවැනි ක්‍රමයක්‌ ඇතිවූයේ ඇයිද යන්නත් එම ක්‍රමය වෙනස්‌ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන් සතු ක්‍රමයක්‌ නොවීය. රොබට්‌ ඖවන්, චාල්ස්‌ පූරියේ, සෙන්සිමෝ ආදීන් මෙවැනි මතධාරීන් විය. පසු කලක මාක්‌ස්‌ මොවුන් මනෝරාජිත සමාජවාදීන් ලෙස හැඳින් වූයේ පෙර කී ලෙස සමාජ අසාධාරණයක්‌ ඇතැයි ඔවුන් හඳුනා ගත්ත ද එය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් කාල්මාක්‌ස්‌ කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය නම් කෘතිය ඒංගල්ස්‌ සමඟ එක්‌ව 1848 දී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සමාජ යථාර්ථය ලෝකයට ඉදිරිපත් කරන ලදී. එහිදී එම යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා එම වකවානුව තුළ දැකිය හැකි වූ ජර්මන් දර්ශනය ප්‍රංශ විප්ලවකාරී දේශපාලනය හා එංගලන්ත අර්ථ ක්‍රමය යන කරුණු ඔහුගේ අධ්‍යයනය සඳහා බෙහෙවින් දායක විය. මාක්‌ස්‌ මෙම මූලික පදනමේ සිට තම ජීවිත කාලය පුරා ඉදිරිපත් කළ කරුණු විශේෂයෙන්ම 1950 පසු විෂයක්‌ ලෙස පෝෂණය වූ දේශපාලන සමාජ විද්‍යාව විෂය කෙරෙහි ද සුවිශේෂී දායකත්වයක්‌ ලබාදී ඇත. සාටෝරි ප්‍රකාශ කළ ආකාරයට ද දළ වශයෙන් දේශපාලන සමාජ විද්‍යාව ලෙස හඳුන්වන්නේ දේශපාලන විද්‍යාවේත් සමාජ විද්‍යාවේත් විෂයාත්මක එකතුවකි. එම විෂය පෝෂණය වීම කෙරෙහි දේශපාලන හා සමාජය එක්‌කොට දැක්‌වූ අර්ථකථනය බෙහෙවින් ඉවහල් වේ. ඒ හේතු කොට ගෙන දේශපාලන සමාජ විද්‍යාව තුළ සුවිශේෂී තැනක්‌ කාල්ස්‌ මාක්‌ස්‌ගේ මතවාදය වෙත ලැබේ.

No comments:

Post a Comment